Wednesday, April 30, 2025

General line - 0115112241

රෝයල් පාක් නඩුවේ විත්තිකරු සැඟවී සිටින රට සොයා ගැනීමට නොහැකි වෙයි

උදය කුමාර



මහත් ආන්දෝලනයකට තුඩු දුන් රෝයල් පාක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී පසුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සමාව ප්‍රදානය කර නිදහස් කිරීමෙන් අනතුරුව රටින් පිටවූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමැති විත්තිකරු මේ වන විට සිංගප්පූරුවේ නොමැති බවට එරට බලධාරීන් ලංකා රජයට දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. 

ඒ, එම වග උත්තරකරු මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතුවලට අදාළ ප්‍රගතිය විමසා බැලීම සඳහා අදාල මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැදවූ අවස්ථාවේදීයි. 

මෙම පෙත්සම අද එස්. තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී කරුණු දැක්වූ රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම වගඋත්තරකරු සිංගප්පූරුවේ සිටින බවට මුලින් ලැබුණු තොරතුරුවලට අනුව මෙරටට පිටුවහල් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතිපතිවරයා විසින් සිංගප්පූරු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බවයි.

එහෙත් එම වගඋත්තරකරු සිංගප්පූරුවේ නොමැති බවට එරට බලධාරීන් විසින් ශ්‍රී ලංකා බලධාරීන්ට දැනුම් දී ඇති බවත් ඒ අනුව මෙම වගඋත්තරකරු රැඳී සිටින්නේ කුමන රටක දැයි සොයා බැලීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් රජයේ නීතිඥවරයා දැනුම් දුන්නා.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයි රාජා මහතා සඳහන් කළේ මෙම නඩු තීන්දුව නිකුත්කොට වසරකට ආසන්න කාලයක් ගත වී තිබුණද මෙම වගඋත්තරකරු සොයා ගැනීමට ගෙන තිබෙන පියවර සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි. 

විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා රජයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින්, මෙම වග උත්තරකරු පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා මාර්ගයෙන් කරුණු සොයා බැලුවේ දැයි විමසා සිටියා. 

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ ආගමන හා විගමන පාලකවරයාගෙන් වාර්තා කැඳවා ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

ඊට අමතරව මෙම වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගැනීමට කටයුතු යොදා තිබුණ ද මෙම නඩුකරයට අදාළ මුල් නඩු ගොනුව සොයා ගැනීම පමා වීම හේතුවෙන් එම කටයුතුවල යම් පමාවක් ඇති වී තිබෙන බවද රජයේ නීතිඥවරයක් පැවසුවා. 

කෙසේ වෙතත් නොපමාව  මහාධිකරණය වෙතින් වරෙන්තුවක් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවත් එම උත්සාහය සාර්ථක නොවුනොත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියා.

මේ අතර  මරණීය දණ්ඩනය නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහ නැමැත්තාට ලබා දුන් ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් ගෙවන ලෙස නියම කරනු ලැබූ රුපියල් මිලියනයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගෙවා තිබෙන බව අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රකාශ වුණා.