Saturday, May 3, 2025

General line - 0115112241

ජනපතිගේ වියට්නාම සංචාරයේදී එළඹෙන ගිවිසුම් ගැන රජයෙන් පැහැදිලි කිරීමක්



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා එළඹෙන 04 වනදා සිට 06 වනදා දක්වා එලෙස වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවන බවයි.

එම සංචාරයේදී ජනාධිපතිවරයා, වියට්නාම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. 

එහිදී කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යේෂ්ඨ සම්භාවනීය අමුත්තන් රැසක් හමුවීමටද නියමිතව ඇති බවයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පැවසුවේ.
 

වියට්නාමයේ හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශනයක්ද පැවැත්වීමට නියමිතයි. 

වියට්නාම රාජ්‍ය සංචාරයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සත් තැබීමට අපේක්ෂා කරන බවත් ව්‍යාපාරික ප්‍රජාව සමග එක්වීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත් එහි සඳහන්ව තිබෙනවා. 

මෙම වසර රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සපිරෙන බැවින් වියට්නාම සංචාරය දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කරනු ඇතැයිද සංචාරය මගින් අපේක්ෂා කෙරෙනවා.
 

වියට්නාම සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වීමට නියමිත බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.