Sunday, May 4, 2025

General line - 0115112241

මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරු ලොකු පැටීගේ තවත් තොරතුරු රැසක් එළියට



විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 20 දෙනෙකු පමණ ඉදිරියේදී මෙරටට රැගෙන ඒමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා. 

ඔහු පැවසුවේ මේ වන විටත් අදාළ පුද්ගලයන් පිළිබඳ තොරතුරු විදෙස් රටවලට යොමු කර ඇති බවයි.


බෙලරූස් රාජ්‍යයේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා හෙවත් “ලොකු පැටී” නැමැත්තා, අවශ්‍ය වුවහොත් රැඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.


“ලොකු පැටී” නැමැත්තා බෙලරූස් රාජ්‍යයේ සිට ඩුබායි ජාත්‍යාන්තර ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් එතැන් සිට අද උදෑසන 07.48ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවා. 

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින්. 
 

කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ලොකු පැටී නැමැත්තාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකරු නුගේගොඩ පිහිටි බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන යනු ලැබුවා. 

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඔහු පසුගිදා අත්අඩංගුවට ගනු ලැබුවේ බෙලරූස් රාජ්‍යයේදීයි.