Friday, May 9, 2025

General line - 0115112241

රිමාන්ඩ් කළ කෙහෙළිය කොළඹ රඳවද්දී, ප්‍රසන්න රණවීර මහරට



රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ මේ වන විට රඳවා තිබෙනවා. 

එම බන්ධනාගාරයේ “එම්-වන්” වාට්ටුවේ තවත් සාමාන්‍ය රැඳවියන් 06 දෙනෙකු සමග රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා ඊයේ රාත්‍රී 07.30ට පමණ එම බන්ධනාගාරයට රැගෙන එනු ලැබුවා. 

ඉන් අනතුරුව වෛද්‍යවරයෙකු විසින් ඔහු පරික්‍ෂා කර තිබෙනවා. 

අසනීප තත්ත්වයන්ට ඔහු මෙතෙක් ලබා ගත් ඖෂධ එලෙසම ලබා ගන්නා ලෙසට එම වෛද්‍යවරයා නිර්දේශ කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

කෙසේවෙතත් ඔහු බන්ධනාගාර රෝහල වෙත මාරු කරන ලෙසට නිර්දේශ කර නැහැ. 

මීට පෙරද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

එම අවස්ථාවේදී ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා.

මෙවර හිටපු අමාත්‍යවරයා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණේ අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි. 

ඒ අනුව ඔහු ලබන 20 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළේ.

මේ අතර රක්‍ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මහර බන්ධනාගාරයේ රඳවා සිටිනවා. 

එම බන්ධනාගාරයේ නවක රැඳවියන් රඳවනු ලබන වාට්ටුවක තවත් රැඳවියන් 150ක පමණ පිරිසක් සමග ඔහු රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. 

තවත් සතියකින් පමණ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වෙනත් වාට්ටුවකට මාරු කිරීමට නියමිතයි.  

අධිකරණය මඟහැරීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු  නිකුත් කර තිබුණා. 

ඒ අනුව මහර අධිකරණයට ඊයේ දිනයේ ඔහු භාර වීමෙන් අනතුරුව ලබන 19 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව ඔහුටද චෝදනා එල්ල වී තිබෙනවා. 

එම සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාද මීට පෙර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. 

ඒ අනුව හිටපු අමාත්‍යවරයා මහර බන්ධනාගාර රෝහලේ රඳවා සිටිනවා.