Thursday, May 22, 2025

General line - 0115112241

ප්‍රබල රටවල් රැසකින් ඊශ්‍රායලයට අනතුරු ඇගවීම්



ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නතර නොකළහොත්, ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කැනඩාව, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය  නායකයින් අනතුරු අගවා තිබෙනවා.

බ්‍රිතාන්‍ය  අගමැති කීර් ස්ටාර්මර්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායලය එල්ල කරන මිලිටරි ප්‍රහාර නතර කර මානුෂීය ආධාර සඳහා වන සීමාවන් ඉවත් නොකළහොත්, ඊට ප්‍රතිචාර ලෙස දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. 

ඊශ්‍රායලයට එරෙහිව එම රටවල් තුන ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි මෙතෙක් නිශ්චිතව දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියේ, ගාසා තීරයේ යුද්ධයේදී හමාස් සංවිධානයට සහාය දැක්වීම සඳහා රටවල් ත්‍රිත්වයේ නායකයින් තිදෙනා ඉදිරිපත් වූ බවයි. 
 

තවද ඉතිරි ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර හමාස් සටන්කරුවන් අවි බිම තබා එහි නායකයින් පිටුවහල් කළහොත් සහ ගාසා තීරය හමුදාකරණයෙන් ඉවත් කළහොත් යුද්ධය හෙට අවසන් විය හැකි බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. 

එය ම්ලේච්ඡත්වයට එරෙහි ශිෂ්ටාචාර යුද්ධයක් වන බවත් සම්පූර්ණ ජයග්‍රහණය ලබා ගන්නා තුරු සාධාරණ ක්‍රම මගින් සිය රට ආරක්ෂා කර ගන්නා බවත් ඊශ්‍රායල අගමැතිවරයා සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.