Thursday, May 22, 2025

General line - 0115112241

රුපියල් කෝටි 12ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපළදී අත්අඩංගුවට

ටී කේ ජී කපිල



රුපියල් කෝටි 12ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

රේගු නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපළ පරිශ්‍රයේ ව්‍යාපාරිකයින් සඳහා වන රක්ත මාවත ඔස්සේ පිටව යාමට තැත් කළ අවස්ථාවේදීයි. 
 

ඔවුන් එම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන වායු සමීකරණ යන්ත්‍ර සහ විදුලි ආහාර පිසීමේ උපකරණ 07ක් තුළ සූක්ෂමව සඟවා තිබෙනවා. 

ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණි ඔවුන් එතැන් සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
 

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් තිදෙනා කොලොන්නාව සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මවක්, 18 හැවිරිදි ඇගේ දියණිය හා     56 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් වනවා. 

රේගු නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත්තේ එම කාන්තාවන් තිදෙනා මීට පෙර අවස්ථා ගණනාවකදීම මේ ආකාරයට මෙරටට විදුලි උපකරණ රැගෙනවිත් ඇති බවයි.
 

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සමග අදාළ කාන්තාවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.