Wednesday, May 28, 2025

General line - 0115112241

දුමින්ද දිසානායක රක්‍ෂිත බන්ධනාගාරගත කෙරේ

දර්ශාන් කානිල් ප්‍රනාන්දු



හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයේ තිබී සොයා ගත් රන් පැහැ ගැන්වූ  ටී - 56 ගිනි අවියේ හිමිකාරිත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 

ඒ, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබාදුන් නියෝගයක් මතයි. 

එහිදී අධිකරණය නියෝග කළේ සැකකාර හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ලබන 29 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

අදාළ ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනා යටතේ මීට පෙර කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. 

ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ දිනයේදීයි. 

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ඔහු රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද ගල්කිස්ස  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.