Wednesday, May 28, 2025

General line - 0115112241

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ලගේ සම්බන්ධීකරණ ලේකම් රිමාන්ඩ්



හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශ්‍යයෙන් කටයුතු  කරමින් සිය  පුද්ගලික කාර්ය මණ්ඩලයට පුද්ගලයින් පහළොස් දෙනෙකු නාමිකව ඇතුළත් කොට රුපියල් ලක්ෂ අසූවකට අධික මුදලක් උපයා ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ  යැයි කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක නැමැත්නා ලබන 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුනා. 

අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්  මෙම සැකකරුට අයත් මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ගිණුමක් පවතින බවත් එය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල විසින් භාවිතා කර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළා.

මෙම ගිණුමට අමාත්‍යාංශ අරමුදල් බැරවී ඇති අතර ඒවා සැකකරුගේ අනු දැනුම මත අමාත්‍යවරයාගේ දියණිය විසින් භාවිතා කොට ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළා. 

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ කරුණු දක්වමින් තම සේවා දායකයාට අදාළ බැංකු ගිණුම හිමි වුවද එය භාවිතා කළේ අමාත්‍යවරයාගේ දියණිය බව සඳහන් කරනු ලැබුවා. 

එම ගිණුමට පෞද්ගලික පාර්ශවයන්ගෙන් මුදල් බැර වී තිබෙන බව පිළිගන්නා නමුත් අමාත්‍යංශ අරමුදල් ඊට බැරවී නොමැති බවත් නීතිඥවරයා ප්‍රකාශ කර සිටියා. 

මෙම ගිණුමට අදාළ ගනුදෙනු සිදුවී තිබෙන්නේ තම සේවා දායකයාගේ අනුදැනුමකින් තොරව වන අතර ඔහු ස්වේච්ඡාවෙන්ම අල්ලස් කොමිසමට ගොස් ප්‍රකාශයක් ලබා දී ඇති නිසා ඔහු ඇපමත මුදාහරින ලෙසත් එම නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. 

එහෙත් එම කරුණු ප්‍රතික්ෂේප කළ අල්ලස් කොමිසමේ නිලධාරීන් අදාළ මුදල් මෙම ගිණුමට බැර වී තිබෙන්නේ සැකකරුගේ පූර්ණ අනුදැනුම මත බව සඳහන් කරනු ලැබුවා. 

අදාළ ගිණුමට මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම් පිළිබඳ  කෙටි පණිවිඩ සියල්ල ලැබී තිබෙන්නේ මෙම සැකකරුගේ ජංගම දුරකථනයට බවත් එබැවින් එම ගනුදෙනු පිළිබඳව තමන් නොදන්නා බවට සැකකරු විසින් දරන ස්ථාවරය පිළිගත නොහැකි බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති හෙයින් සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි නිසා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා. 

ඒ අනුව සැකකරු ලබන තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.