Friday, May 30, 2025

General line - 0115112241

අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලැබූ ලේකම් නිමල් වික්‍රමසිංහට අනුරාධපුර මහාධිකරණයෙන් නියෝග

උපාලි ආනන්ද.



කලූවිල සේන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට තම පෞද්ගලික මුදලින් වන්දි ගෙවන ලෙසට අනුරාධපුර මහාධිකරණය මීට වසර එකහමාරකට පෙර ලබා දුන් නියෝගයක් කඩ කරමින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා සිටින උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මෙන්ම විදුලි බල අමාත්‍යාංශයේ වත්මන් අතිරේක ලේකම්වරයෙකුද වන නිමල් වික්‍රමසිංහ මහතාට ජුනි මස 17 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින් ද  හේවා වසම් මහතා නියෝග කර තිබෙනවා 

මහාධිකරණ විනිසුරුවරයා මෙසේ නියෝග කළේ. නාච්චාදූව කළුවිල සේන මහා විද්‍යාලයේ විදුහල්පති උපාලි ජය වික්‍රම මහතා ජේෂ්ඨ නීතිඥ සජීව ගුණරත්න මහතා මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි. 

පෙත්සම්කාර විදුහල්පති උපාලි ජය වික්‍රම මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ සජීව ගුණරත්න මහතා කියා සිටියේ තම සේවාදායකයාට නීති විරෝධී අයුරින් ස්ථාන මාරුවක් ලබාදීම අභියෝගයට ලක් කරමින් මෙම අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබූ බවය. 

මෙම නඩුවේ තීන්දුව 2023.10.31  දින  ප්‍රකාශයට පත් කල බවට අධිකරණයට දැනුම් දුන් නීතිඥවරයා එම නියෝගය මගින් තම සේවා දායකයාට කළුවිල සේන මහා විද්‍යාලයේ සිට අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයටත් ඉන් පසුව උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් ලබා දී තිබූ ස්ථාන මාරුව අවලංගු කිරීමට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යශයේ එවකට හිටපු ලේකම් නිමල් වික්‍රමසිංහට නියෝග කළ බවද සඳහන් කළේය.

තම සේවාදායකයාට ලබා දී තිබූ ස්ථාන මාරුව නීතියට පටහැනි බවටද එදින තීන්දු කළ මහාධිකරණය මෙම ස්ථාන මාරුව ලබාදීම තුළින් වග උත්තරකාර ලේකම් නිමල් වික්‍රමසිංහ සිය තනතුරට ඇවැසි බලය අභිබවා යමින් අත්තනෝමතික ලෙසට ක්‍රියා කර ඇති බවටද අධිකරණය එදින තීන්දු කළ බවත් ඒ අනුව තම සේවා දායකයාට සිදුවූ අගතිය වෙනුවෙන් ඔහුට තම පෞද්ගලික මුදලින් රුපියල් තිස් දහසක වන්දියක් ගෙවන ලෙසටද මහාධිකරණය නියෝග කළ බවද නීතිඥවරයා පවසා සිටියේය. 

එහෙත් අදාල නියෝගය ලබාදී වසර එකහමාරකට අධික කාලයක් ගත වුවද එවකට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වගඋත්තරකාර නිමල් වික්‍රමසිංහ අදාළ අධිකරණ නියෝගය කඩ කරමින්, මේ වන තෙක් තම සේවා දායකයාට වන්දි මුදල් ගෙවා නැති බවත් අධිකරණයට අවධාරණය කළ නීතිඥ සජීව ගුණරත්න මහතා මේ තුළින් උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ එවකට හිටපු ලේකම්වරයා අධිකරණයට අපහාස කර ඇති බවද කීවේය. 

පෙත්සම්කාර විදුහල්පති උපාලි ජය වික්‍රම මහතා වෙනුවෙන් නීතිඥ සජීව ගුණරත්න මහතා කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින් ද හේවා වසම් මහතා මීට පෙර අධිකරණයට ලබා දුන් නියෝගයක් කඩ කරමින් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලබා සිටින උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ එවකට හිටපු ලේකම්වරයා මෙන්ම විදුලි බල අමාත්‍යාංශයේ වත්මන් අතිරේක ලේකම්වරයෙකුද වන නිමල් වික්‍රමසිංහට ජුනි මස 17  වන දින අනුරාධපුර මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරනු ලැබීය. 

තමාට ලබාදී තිබූ අනීතික ස්ථාන මාරුවක් අභියෝගයට ලක් කරමින් කළුවිල සේන මහා විද්‍යාලයේ විදුහල්පති උපාලි ජය වික්‍රම මහතා නීතිඥ සජීව ගුණරත්න මහතා මගින් 2023 වසරේ අනුරාධපුර මහාධිකරණය හමුවේ පවරා තිබූ මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස නම්කර සිටියේ එවකට උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාව සිටි චන්ද්‍රසිරි බණ්ඩාර උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ‍ලේකම්වරයෙකුව සිටි නිමල් වික්‍රමසිංහ (දැනට අධිකරණ නියෝග කඩ කල බවට චෝදනා ලබා සිටින) එවකට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ නිර්මලා ඒකනායක සහ අනුරාධපුර වත්මන් කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ මහේසි මංජරිකා හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මිහුය.