Thursday, May 9, 2024

General line - 0115112241

මීළඟ ජනපති අපේක්ෂකයා ගැන මහින්දත් කතා කරයි




නව නායකයින් බිහි වී රට ඉදිරියට ගෙන යාමට දැන් කාලය එළඹ ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ විවිධ තැනැත්තන්ගෙන් ඉදිරිපත් වූ ප‍්‍රශ්නවලට සිය ට්විටර් ගිණුම ඔස්සේ ප‍්‍රතිචාර දක්වමින්.

එළෙස තවත් ප‍්‍රශ්නයකින් හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා තිබුණේ යම් හෙයකින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපති අපේ්ක්ෂකයා ලෙස නම් කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළහොත් මහින්ද රාජපක්ෂ මහතා ගන්නා ස්ථාවරය කුමක්ද යන්නයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අදාළ අවස්ථාවේදී ගනු ලබන තීරණය අනුව තමන්ගේ ස්ථාවරය ද තීරණය වනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා ඊට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රකාශ කර තිබෙනවා.

තවද මැතිවරණයක් එළඹෙන ඕනෑම අවස්ථාවකදී මහජනතාව නියෝජනය කරමින් ශක්තිමත් ඒකාබද්ධ පෙරමුණක් ලෙස ඊට මුහුණදීමට සූදානම් වන බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

ආණ්ඩු පෙරළියකට මුල පුරන්නේ කවදාදැයි තවත් අයෙකු හිටපු ජනාධිපතිවරයාගෙන් ප‍්‍රශ්න කර තිබෙනවා. ඊට පිළිතුරු දෙමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ ඒ සඳහා මුලපිරිය යුත්තේ ජනතාව බවයි.

දෙවසරකට පෙර ජනතාව විසින් පරාජය කර සිටියදීත් නැවත බලයට පැමිණීමට උත්සහ කරන්නේ මන්දැයි ද නැවත බලය ලබාගැනීමට හැකි යැයි විශ්වාස කරන්නේදැයි ද තවත් අයෙකු ප‍්‍රශ්න කර තිබෙනවා. ඊට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ මහජන අරගල යනු පුද්ගලයින් මත පදනම් වූ ඒවා නොවන බවයි. නායකයින් කළ යුත්තේ මහජන කැමැත්ත අනුව කටයුතු කිරීම බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

තවත් ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර ඇත්තේ තමන් නැවත බලයට පැමිණියහොත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීත්‍යානුකූල ආයතනයක් බවට පත්කර සැබෑ වැරදිකරුවන්ට දඬුවම් ලබාදෙන බවයි.

තමන් කිසි දිනෙක අන්තවාදයට ඉඩ නොදෙන බවද සෑම විටම ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටින බවද මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කර තිබෙනවා.

භික්ෂූන් වහන්සේ දේශපාලන අවශ්‍යතා සඳහා යොදාගන්නේ දැයි තවත් අයෙකු ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ ජාතික අර්බුදයකදී භික්ෂූන් වහන්සේ පෙරට ඒම ඉතිහාසය පුරා සිදුවූවක් බවයි. එය දේශපාලන අවශ්‍යතාවක් ඉටුකිරීම නොවන බවද අවධාරණය කර තිබෙනවා.

mahi