Thursday, May 9, 2024

General line - 0115112241

බංගලියන් ජයගන්නට පෙර පිටියේ කළ ගාලගෝට්ටිය (UPDATE/PHOTOS)

ඉෂාර සුපෙම් මානගේ/ කසුන් කැලුම්




උණුසුම් සටනකින් පසු කඩුළු දෙකකින් ශී‍්‍ර ලංකාව පරාජය කළ බංග්ලාදේශ කණ්ඩායම නිදහස් කුසලාන විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ රාති‍්‍රයේ සමත් වුණා. ඒ, තරගයේ අවසන් පන්දුවාරයේ එක් පන්දුවක් ඉතිරිව තිබියදීයි. කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුළු 7 ක් දැවී ලකුණු 159 ක් රැස් කළා. 

ශී‍්‍ර ලංකා පිලේ මුල් කඩුළු 5 බිද වැටුණේ ලකුණු 41 ක් තුළයි. ඉන් අනතුරුව පිටියේ එක්වූ  කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා හය වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක විශිෂ්ඨ සබදතාවක් ගොඩනැගුවා. පන්දු 40කදි කුසල් ජනිත් පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 61 ක්. ඒ, හතරේ පහර 7 ක් සහ එක් හයේ පහරක් සමගයි. තිසර පෙරේරා පන්දු 37 කදී ලකුණු 58 ක් රැස් කළේ හතරේ පහර 3 ක් සහ හයේ පහර 3 ක් ද සමගයි.

පන්දු යැවීමේදී මුස්තාෆිසූර් රහමන් ලකුණු 39 කට කඩුළු දෙකක් බිද හෙළුවා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ ජය වාර්තා කළේ විසිවන පන්දුවාරයේ 5 වන පන්දුවේදීයි. ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් පන්දු 42 කදී ලකුණු 50 ක් රැස් කළා. බංග්ලාදේශ කණ්ඩායම ජයග‍්‍රහණය සදහා රැගෙනගිය මහමුදුල්ලා පන්දු 18 කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 43 ක්. තරගයේ අවසන් පන්දුවාරයේදී ජයග‍්‍රහණය සදහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 12 ක් අවශ්‍ය වුණා. 

ඉසුරු උදාන යැවූ එම පන්දුවාරයේ පළමු පන්දු දෙකට ලකුණු ලබා ගැනීමට බංග්ලාදේශ පිතිකරුවන්ට හැකිවූයේ නැහැ.  එම පන්දු දෙකම යොමු වූයේ පිතිකරුගේ හිසට ආසන්නයෙන්. දෙවන පන්දුව නීතිවිරෝධී පන්දුවක් ලෙස නම් නොකිරීම සම්බන්ධයෙන් බංග්ලාදේශ කී‍්‍රඩකයින් විනිසුරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමත් සමග කී‍්‍රඩා පිටියේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. කෙසේවෙතත් විනිසුරුවරුන් සිය තීරණය වෙනස් නොකිරීමත් සමග නායක ශකීබ් අල් හසන් ඊට දැඩි ලෙස විරෝධය පළ කරමින් කී‍්‍රඩාපිටියේ සිටි පිතිකරුවන් දෙදෙනාට ඉවත් වන ලෙස දන්වා සිටියා.

කෙසේවෙතත් පිටියේ රැදී සිටි මහමුදුල්ලා සහ රුබල් හුසේන් පිටියෙන් ඉවත් වුයේ නැහැ. තරගය විනාඩි කිහිපයකට පසු යළි ආරම්භ වූ අතර බංග්ලාදේශයට අවසන් පන්දු හතරේදී ලකුණු 12 ක් ලබාගැනීමට අවශ්‍යව තිබුණා. එම පන්දුවාරයේ තුන්වන පන්දුවට හතරේ පහරක් එල්ල කළ මහමුදුල්ලා සිව්වන පන්දුවේදී තවත් ලකුණු 2ක් රැස් කළා. ඒ අනුව අවසන් පන්දු දෙකේදී බංග්ලාදේශයේ ජයග‍්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 6 ක් පමණයි. ඉසුරු උදානගේ පස්වන පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කළ මහමුදුල්ලා තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට අත්කර දුන්නා. 
 

-------------------------------------------

අවසන් පන්දුවාරයේ සියල්ලන් පුදුම කරමින් තරගය බංග්ලාදේශය ජය ගනී (UPDATE)

16-03-2018 22:32

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර අද (16) පැවැති තරගයේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ පන්දුවාර 19 යි පන්දු 05ක් අවසානයේ කඩුලු 08ක් බිඳවැටී තිබියදී ජයග්‍රාහි ලකුණු 160ක් ලබා ගනිමින්.

බංග්ලාදේශයට තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 12ක් අවශ්‍යව තිබුණා.

කෙසේ වෙතත් ඒ මොහොතේ කඩුලු දෙකක් බිඳ වැටීම හමුවේ බංග්ලාදේශ ක්‍රීඩකයින් දැඩි පීඩනයකට මැදිව සිටියා.

තරගයේ අවසන් පන්දුවාරයේ යැවූ පන්දු දෙකක් සම්බන්ධයෙන් බංග්ලාදේශ පිතිකරුවන් පිටිය මැද යම් ප්‍රශ්නකාරී තත්ත්වයකට නතුව සිටින ආකාරයද දක්නට ලැබුණා.

කෙසේවෙතත් පසුව යළි තරගය ක්‍රියාත්මක වූ අතර දැවැන්ත හයේ පාරකින් තරගය ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව නිදහස් කුසලාන අවසන් මහා තරගයට බංග්ලාදේශ කණ්ඩායම සුදුසුකම් ලැබුවා.

 

----------------------------------------------

බංග්ලාදේශයට 160ක ඉලක්කයක් (UPDATE)

(16-03-2018 20:45)

 

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ විකට් 7ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

කුසල් පෙරේරා ලකුනු 61යි. තිසර පෙරේරා ලකුණු 58යි

-------------------------------------

කාසියේ වාසිය බංග්ලාදේශයට

නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගයේ කිසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලකයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (16) දිනයේදී මෙහෙයවනු ලබන්නේ තිසර පෙරේරායි. ඒ, දිනේෂ් චන්දිමාල් තරග තහනමකට ලක්ව සිටීම හේතුවෙන්. අද තරගය සදහා ඉසුරු උදාන සහ අමිල අපොන්සු ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැදවා තිබෙනවා. ඒ, සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර වෙනුවටයි.  

තුන්ඉරියව් කී‍්‍රඩක ශකීබ් අල් හසන් අද තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමට කී‍්‍රඩා කිරීමට නියමිතයි. ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට නම් මෙම තරගය අනිවාර්යයෙන් ජයගත යුතු වනවා.