Wednesday, May 8, 2024

General line - 0115112241

ඇමති ෆොන්සේකාගේ අලි තීන්දුව ජනපති ආපසු හරවයි




ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගණයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබෙනවා. විධිමත් ක‍්‍රමවේදයක් සකසන තුරු එම සත්ත්වයින් දෙදෙනා එහි රඳවා තබන ලෙසයි ජනාධිපතිවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීම සිදු වන්නේ නම් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදු කරන විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව ඉදිරි පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත්තේ. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේදී එම නිලධාරීන් හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම වන අලින් දෙදෙනා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට වන ජීවි අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා තීරණය කර ඇති බව ‘‘සුරකිමු ශී‍්‍ර ලංකා’’ සංවිධානය ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී චෝදනා කළා. මේ හේතුවෙන් සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් වීමේ අවදානමකට ලක්ව ඇති බව යුනෙස්කෝ සංවිධානය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇති බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.