Wednesday, May 8, 2024

General line - 0115112241

තානාපති කාර්යාලය තුලදී සවුදි මාධ්‍යවේදියා ඝාතනය කරලා - තුර්කිය රහස් හොයා ගනියි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




දින 12ක සිට අතුරුදහන්ව සිටින සවුදි අරාබි මාධ්‍යවේදියෙක් වන ජමාල් කාගෝෂි තුර්කියේ පිහිටි සවුදි අරාබියානු තානාපති කාර්යාලය තුලදී ප්‍රශ්න කිරීම් වලට ලක් කොට, වධහිංසා පමණුවා ඝාතනය කර ඇති බවට තමන් වෙත තොරතුරු ලැබී ඇති බවයි තුර්කි බුද්ධි අංශ අද (12) පවසා සිටිනවා.

අමෙරිකාවට වී සිය මාධ්‍ය කටයුතු සිදුකරමින් සිටි ජමාල් කාගෝෂි සිය පළමු බිරියගෙන් දික්කසාද වීමට අවශ්‍ය ලිපි කිහිපයක් ලබා ගැනීමට තුරිකියේ පිහිටි සවුදි තානාපති කාර්යාලය තුලට යාමෙන් පසු අතුරුදහන්වූ බව ඔහුගේ පෙම්වතිය තුර්කි බලධාරීන්ට පැමිණිලි කර තිබෙනවා.

මෙම සිද්ධිය තුර්කිය සහ සවුදිය අරාබිය අතර රාජතාන්ත්‍රික ගැටලුවක් ඉස්මතු වූ අතර තුර්කි රජය මෙම සිදුවීම පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කළේ සවුදි රජය දිගින් දිගටම සිය තානාපති කාර්යාලයට පිවිසි මාධ්‍යවේදියා ඉන් පිටව ගිය බවට පැවසීමත් සමගයි.

පසුගිය ඔක්තෝම්බර් 02 වෙනිදා තුර්කියේ පිහිටි සවුදි තානාපති කාර්යාලය තුලට මාධ්‍යවේදියා ඇතුල් වන අයුරු CCTV දර්ශන මගින් තහවුරුවී ඇති අතර ඉන්පසුව තානාපති කාර්යාලය තුලදී අරාබි බසින් සිදුකල බව කියන ප්‍රශ්න කිරීම හා පහර දෙන ශබ්ද ඇතුලත් හඬ පටයක් තුර්කි බුද්ධි අංශ සොයා ගැනීමට සමත්ව තිබීමත් සමග මාධ්‍යවේදීයගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් සවුදි අරාබිය දෙසට චෝදනාව එල්ල වීමට පටන් ගෙන ඇත.

එමෙන්ම සවුදි තානාපතිවරයාගේ නිල නිවස ආසන්නයේ නවතා තිබු කලු පැහැති සැකකටයුතු වැන් රථයක් ගැනද තුර්කි බුද්ධි අංශ කරුණු අනාවරණය කර ගෙන ඇති බව සදහන්.

තුර්කි බුද්ධි අංශ විසින් සොයා ගත් හඬ පටය ඉදිරි විමර්ශන සදහා අමෙරිකාවට බාර දීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

සිය අභ්‍යවකාශ සංචාරක ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සවුදි රජය සමග පැවැත්වීමට නියමිතව තිබු සාකච්ජා සියල්ලම නතර කිරීමට අමෙරිකානු ධනවතෙක් වන සර් රිචර්ඩ් බ්‍රෙන්සන් තීරණය කරනු ලැබුවා. ඒ මෙම මාධ්‍යවේදියාගේ අතුරුදහන් වීම හේතු කරගෙන බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

මේ අතර ජමාල් කාගෝෂි සමග සේවය කළ තවත් මාධ්‍යවේදියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ 2001 වර්ෂයේ සැප්තැම්බර් 11 වෙනිදා අමෙරිකානු ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ලවූ අල්-කයිඩා ප්‍රහාරය සම්බන්ධයෙන් එම ත්‍රස්ත කණ්ඩායම සහ සවුදි අරාබි රජ පවුල සමග තිබු සම්බන්ධතාවයන් ගැන ජමාල් සියලු විස්තර දන්නා බවයි.

නැවත සිය රට ගියවිට තමා අත්අඩංගුවට ගනීවි යන බිය නිසා ඉකුත් වසරේ ජුලි මාසයේ සිට ඔහු සිය රටට නොගොස් අමෙරිකාවේම රැඳී සිටිමින් හිද ඇත.

මෙම සිදුවීමත් සමග සවුදි රජ පවුලට දිනෙන් දිනම ජාත්‍යන්තරය හමුවේ දැඩි පීඩනයකට ලක්වන්නට සිදුවී ඇත.