Wednesday, May 8, 2024

General line - 0115112241

මඩකලපුවේ පොලිස් ද්විත්ව ඝාතනයට අත්අඩංගුවට ගැනුණු සැකකරු CID භාරයට

හේමන්ත කහවලගේ




මඩකලපුව වව්නතිව් හිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු කිලිනොච්චිය වට්ටකච්චිය ප‍්‍රදේශයේදී අද (01) අත්අඩංගුවට ගැනුණා. ඒ, කිලිනොච්චිය පොලීසිය විසින්. අත්අඩංගුවට ගැනුණු සැකකරු මේ වනවිට මෙම ඝාතන සිද්ධිය විමර්ශනයට මඩකලපුව ප‍්‍රදේශයට ගොස් සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමට භාර දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නෙත් නිවුස් වෙත පැවසුවේ. 

මෙලෙස ඊයේ ඝාතනය කර තිබුණේ ගාල්ලේ පදිංචි 35හැවිරිදි නිරෝෂන් ඉන්දික ප‍්‍රසන්න සහ කල්මුණේ පදිංචි 28 හැවිරිදි ගනේෂ් දිනේෂ් නමැති පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්. පසුව ඔවුන් දෙදෙනා පොලිස් සැරයන් නිලයට උසස් කරනු ලැබුවා. මෙම ඝාතනයෙන් පසු සැකකරුවන් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ගිනි අවිද රැගෙන පළා ගොස් තිබුණා. 

වව්නතිව් ප‍්‍රදේශයේ පාණ්ඩිඅඩි සොහොනේ පැවැත්වීමට නියමිතව තිබූ මහවිරු සැමරුම් උත්සවයකට අදාළ සැරසිලි ඉවත් කිරීමට පොලීසිය ඉකුත් දා කටයුතු කර තිබුණා. ඊට පළි ගැනීමක් ලෙස මෙම ඝාතන සිදු කෙරෙන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.        

.............................................................

වව්නතිව් පොලිස් නිළධාරින් ඝාතනයේ සැකකරුවෙක් කිලිනොච්චිහිදී අත්අඩංගුවට 

(01-12-2018 15:55)

මඩකලපුව, වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 48 හැවිරිදි සැකකරුවෙකු කිලිනොච්චිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කරනවා.

වව්නතිවු ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ රාජකාරියේ නිරත සිටි පොලිස් නිළධාරින් දෙදෙනා ඝාතනය කර තිබියදී ඊයේ (30) උදෑසන 6 ට පමණ සොයා ගනු ලැබුවා.

මෙම පොලිස් නිළධාරින් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක්ද විමර්ශන කටයුතු සිදුකරමින් පවතිනවා.