Thursday, May 9, 2024

General line - 0115112241

ජනපතිගේ ප්‍රකාශයට එජාපය, සංධානය එකඟ වෙද්දි ජවිපෙ දැඩිව විරුද්ධ වෙයි

සමන්ත කුමාර/ ලහිරු කපුගේ




පසුගිය රජය විසින් සම්මත කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය, අවශ්‍ය නම් සංශෝධනය කිරීමට ජනපතිවරයා සුදානම් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (06) කියා සිටියා. මෙම සංශෝධනය සම්මත කර ගත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධයෙන් දශක තුනක් පමණ තිස්සේ පැවැති ගැටලූ නිවැරදි කර ගැනීමට බවත්, නමුත් 19 වන සංශෝධනයේ යම් කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම් එය සංශෝධනය කිරීමට ජනපතිවරයා සුදානම් බව එම නිවේදනයෙන් පැහැදිලි කර තිබුණා.

ජනාධිපතිවරයාගේ මෙම නිවේදනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් දක්වමින් සිටිනවා.

ජනපතිවරයාගේ මෙම ප්‍රකාශය  සුබවාදී තත්ත්වයක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන පවසන්නේ ජනපතිවරයාගෙේ නිවේදනය මගින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය පෝෂණය වීමක් සිදු වන බවයි.

 

මේ අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා පවසන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ දුර්වලතා නිවැරදි කරමින් යළි සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා උත්සහ කරන්නේ නම් තම කණ්ඩායමද ඊට සහය ලබා දෙන බවයි.

 

කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ජනපතිවරයාගේ එම ප්‍රකාශයට විරෝධය දක්වමින් අදහස් පළ කරනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසූවේ දැන් ජනාධිපතිවරයාට මුල අමතක වී තිබෙන බවයි.