Friday, April 26, 2024

General line - 0115112241

පාකිස්ථාන අත්අඩංගුවේ සිටි අභිනන්දන් යළි ඉන්දියාවට : ආපසු එවීමට ප්‍රමාද කළ හේතුව වීඩියෝවක් (PHOTOS)

දිනුක් හේවාවිතාරණ / සමන්ත කුමාර




අත්අඩංගුවේ පසුවූ ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්ථමාන් මිට සුළු මොහොතකට පෙර වාගා දේශ සීමාවේදී ඉන්දීය බළධාරීන් වෙත බාරදීමට පාකිස්ථාන බළධාරීන් විසින් පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සාමය සඳහා තමන් ඉන්දියාවට සිදුකරන දෑත් දිගු කිරීමක් වශයෙන් සිය පාළන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට පියවර ගන්නා බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (28) ප්‍රකාශ කර සිටියා.

සිය ගුවන් හමුදා නිළධාරියා යළි බාර දිමෙදී ප්‍රමාදයක් සිදුවූ බව ඉන්දීය බළධාරීන් ප්‍රකාශ කර සිටියා. කෙසේ වුවත් පසුව වාර්තා වුයේ අත්අඩංගුවේ සිටි ගුවන් හමුදා නියමුවාගෙන් පාකිස්ථානය විසින් තමන්ට අවශ්‍ය පරිදි ප්‍රකාශයක් සිදුකොට එය එරට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම නිසා මෙම ප්‍රමාදය සිදුවූ බවයි.

" තමන් දේශ සීමාවෙන් ඔබ්බෙන් පිහිටි පාකිස්ථාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට පැමිණි බවත් එම අවස්ථාවේදී පාකිස්ථාන ගුවන් හමුදාව විසින් එල්ල කරනු ලැබූ ප්‍රහාරයකින් යානාව විනාශ වූ නිසා හදිසි පිටවීමේ ආධාරකය උපයෝගී කර ගෙන යානයෙන් පිටතට පැමිණි බව" මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරනු ලැබූ වීඩියෝවට අනුව වින්ග් කමාන්ඩර අභිනන්දන් වර්ථමාන් ප්‍රකාශ කර ඇත. 

භුමියේ සිටි පිරිස් (සිවිල් වැසියන්) තමන්ට පහර දීමට උත්සහ කළ අවස්ථාවේදී පාකිස්ථාන හමුදා නිළධාරින් පැමිණ තමන් මුදවා ගත් අතර එරට සිටි පැය 60 ක පමණ කාලය තුලදී හොදින් සැළකු බව වින්ග් කමාන්ඩර් අභිනන්දන් ගේ වීඩියෝවේ සඳහන්ව ඇත.

කෙසේ වුවත් එම වීඩියෝව සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. 1971 වසරෙන් පසුව දෙරටේ ගුවන් හමුදාව එකිනෙකාට ප්‍රහාර එල්ල කර ගත් පළමු අවස්ථාව මෙය වන අතර එවැනි තත්ත්වයක් උඩදී ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කිරීමට පාකිස්ථානය පියවර ගැනීම සම්බන්ධයෙන් දැඩි කතාබහක් මතුවී තිබෙනවා.

ඉන්දීය බළධාරීන් විසින් සිය භාරයට ගනු ලැබූ වින්ග් කමාන්ඩර් අභිනන්දන් සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් අනතුරුව නව දිල්ලිය බලා රැගෙන යාමට නියමිතව තිබෙනවා. " යළි මව් රටට පැමිණීම භාග්‍යයක් බව" ඔහු පාකිස්ථාන අත්අඩංගුවෙන් මිදීමෙන් අනතුරුව ප්‍රකාශ කළ පළමු වචන පෙළ බව එරට උසස් ආරක්ෂක අංශ නිලධාරියෙක් ඉන්දීය මාධ්‍ය වෙත හෙළිකර සිටියා.

" වින්ග් කමාන්ඩර්  අභිනන්දන් වර්ථමාන් යළි පැමිණි ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඔබගේ ඔබගේ ආදර්ශවත් ධෛර්යය ගැන ජාතිය ආඩම්බර වෙනවා. කෝටි 130 ක් වන ජනතාවට රටේ ආරක්ෂක හමුදාව ආශ්වාදයක්" යැයි ට්විටර් පණිවිඩයක් තබමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සිය සතුට පළකර සිටියා.

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි, සුපිරි බොලිවුඩ් නළු නිලියන් ඇතුළු රැසක් අභිනන්දන් ගේ යළි පැමිණීම ගැන ට්විටර් සමාජ ජාලය ඔස්සේ සිය සතුට පළකර තිබෙනවා.