Thursday, December 19, 2024

General line - 0115112241

උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්

නිශාන් ද සිල්වා




මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අද (30) මධ්‍යම රාති‍්‍ර 12.00 සිට විභාගය අවසන් වන තෙක් තහනම් කර තිබෙනවා. ලබන අගෝස්තු මස 05 වැනිදා ආරම්භ වන උසස් පෙළ විභාගය අගෝස්තු 31 වැනිදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙවර අයදුම්කරුවන් තුන් ලක්‍ෂ තිස් හත්දහස් හත්සිය හතර දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,678 කදී විභාගයට පෙනී සිටීමට නියමිතයි.

මේ අතර ලබන 4 වැනිදා පැවැත්වෙන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් තුන් ලක්‍ෂ තිස් නව දහස් තුන්සිය හැට නව දෙනෙකු මෙවර පෙනී සිටීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මධ්‍යස්ථාන 2,995 කදී විභාගය පැවැත්වෙනවා. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පංති හෙට (31) මධ්‍යම රාති‍්‍ර 12.00 සිට විභාගය අවසන් වන තෙක්  පැවැත්වීම තහනම් බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ඒ අනුව විභාග අපේක්‍ෂකයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම සහ මෙහෙයවීම, සම්මන්ත‍්‍රණ, වැඩමුළු පැවැත්වීම, අනුමාන ප‍්‍රශ්න ඇතුළත් ප‍්‍රශ්න පත‍්‍ර මුද්‍රණය සහ ඒවා බෙදා හැරීම තහනම් වනවා.