Thursday, May 9, 2024

General line - 0115112241

ත්‍රස්ත සැකකරුවන් 05 දෙනක් අත්අඩංගුවට : ලංකාවෙන් එන ත්‍රස්තයින්ට වැට බදින්න ඉන්දියාවෙන් විශේෂ වැඩපිළිවලක්

දිනුක් හේවාවිතාරණ




ඉන්දියාව තුල ප්‍රහාර එල්ල කිරීමට පැමිණි බව කියන ලෂ්කාර් - ඊ- ටයිබා (LeT) නමැති ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකකෙරෙන කාන්තාවක් ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු කේරළ සහ කොයිම්බුතූර් දිස්ත්‍රික්කයන් හිදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියා.

මිට දින කිහිපයකට ඉහතදී ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කර සිටියේ ශ්‍රී ලංකාව හරහා ඉන්දියාව තුල ප්‍රහාර එල්ල කිරීම සඳහා ලෂ්කාර් - ඊ- ටයිබා නොහොත් එල්.ඊ.ටි. නමැති ත්‍රස්ත සංවිධානයට අයත් සාමාජිකයින් 06 දෙනෙකු මුහුදු මාර්ගයෙන් තමිල්නාඩුවට ඇතුල්වී ඇති බවයි. මෙලෙස ඉන්දියාවට පැමිණි ත්‍රස්තවාදීන් අතර එක් පාකිස්ථාන ජාතිකයෙක් වන බවත් අනෙක් පස් දෙනා මුස්ලිම් ආගම වැළද ගනු ලැබූ ශ්‍රී ලාංකීය දමිල ජාතිකයින් බවයි එරට බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර සිටියේ.

ඒ අනුව තමිල්නාඩුව සහ කේරළ ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ විසින් පියවර ගනු ලැබූ අතර සිදුකරනු ලැබූ සෝදිසි මෙහෙයුම් අතර වාරයේදී මෙම පිරිස ස්ථාන දෙකකදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

කේරළ පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකදී අබ්දුල් කාදර් රහීම් යන පුද්ගලයෙක් සහ ඔහු සමග සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ. කෙසේ වුවත් ඔහුගේ නීතිඥයා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තම සේවා දායකයා මිට දින දෙකකට ඉහතදී බහරේන් සිට ඉන්දියාවට පැමිණියේ කවුරුන් හෝ ඔහුගේ නම මෙම ත්‍රස්ත ක්‍රියා සඳහා ඈඳා ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමට බවයි. 

මේ වන විට කේරළ පොලිසිය අබ්දුල් කාදර් රහීම් සහ ඔහු සමග අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාව රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

මේ අතර කොයිම්බුතූර් පොලිසිය විසින් ද සිදුකරන ලද මෙහෙයුමකදී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට මුහුදු මාර්ගයෙන් පැමිණි බව කියන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් ගෙන් ද මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවයි ඉන්දීය පොලිස් ප්‍රධානියෙකු උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෙසේ වුවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට මුහුදු මාර්ගයෙන් ත්‍රස්තවාදීන් සංක්‍රමණය වීමට ඇති ඉඩකඩ අහුරා දැමීමට එරට වෙරළ ආරක්ෂක බලකාය සහ නාවික හමුදාව විශේෂ ආරක්ෂක මෙහෙයුමක් දියත් කර ඇති බවද සඳහන්.