Thursday, May 9, 2024

General line - 0115112241

නිලධාරීන් කිහිප දෙනෙක් නිසා රාජ්‍ය ඇමතිවරයෙක් ධුරය අත්හැරීමට යයි




කෘෂිකර්ම අමාත්‍යාංශය යළි ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට අමාත්‍යංශයේ ඉහළ පෙලේ නිලධාරීන් කිහිප දෙනෙකු විරෝධයක් දක්වා ඇතැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා.

ඉකුත් ආණ්ඩු සමයේදී ගොවිජන මන්දිරයේ ස්ථාපිත කර තිබූ කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ලක් වෙත රැගෙන යාමට කටයුතු කර තිබුණා. එම ගොඩනැගිල්ලට මසක කුලිය ලෙස ලබා දී තිබූ මුදල රුපියල් කෝටියකට අධිකයි.

අධික මුදලක් නිකරුණේ වැය කිරීම හේතුවෙන් වත්මන් ආණ්ඩුව කෘෂිකර්ම අමාතංශය යළි ගොවිජන මන්දිරය වෙත ගෙන යාමටයි තීරණය කළේ.

එම කටයුත්ත ප‍්‍රමාද වීම සම්බන්ධයෙන් නෙත් නිව්ස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මේ බව සඳහන් කළා. ඔහු කියාසිටියේ නිසි ලෙස කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබා නොදෙන්නේ නම් තමන්ට ගත හැකි එකම තීන්දුව තනතුරු අතහැරීම පමණක් බවයි.

දැනට කෘෂිකර්ම අමාත්‍යංශය පිහිටි ගොඩනැගිල්ලේ පවතින ගැටලූ සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළා. එහිදී "මේ ගොඩනැගිල්ලේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා. කුලිය විතරක් නෙමෙයි ගෙවන්නේ...ඒ අයට නඩත්තුව සඳහාත් අපි ගෙවනවා. පිරිසිදු කිරීමට.. ඒවටත් ගෙවනවා." යනුවෙන් සඳහන් කළා.