Wednesday, May 21, 2025

General line - 0115112241

පොලිස් නිලධාරීන්ට කඩුවකින් පහරදීමට තැත් කළ පුද්ගලයෙකුට වෙඩි



තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට කඩුවකින් පහරදීමට තැත් කළ පුද්ගලයෙකුට පොලිස් නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් අදාළ පුද්ගලයා තුවාල ලබා කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

එලෙස තුවාල ලබා ඇත්තේ 31 හැවිරිදි බද්දේගම, ගණේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

තෙලිකඩ පොලිස් වසමේ දොඩංගොඩ ප්‍රදේශයේ ගිං ගඟ අසල නීති විරෝධී මත්පැනි නිෂ්පාදනය කරන බවට 119 පොලිස් හදිසි ඇතුම් අංකයට ලද තොරතුරකට අනුව තෙලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරින් ඊයේ පස්වරුවේ එම ස්ථානය වටලා තිබෙනවා. 

එම අවස්ථාවේ අදාළ ස්ථානයේ සිටි පුද්ගලයින් සිව් දෙනෙකු මත්පැන් පානය කරමින් සිට ඇති අතර එහි සිටි එක් පුද්ගලයෙකු කඩුවක් රැගෙන පොලිස් නිලධාරීන්ට තර්ජනය කර පහර දීමට තැත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.   

එම අවස්ථාවේ පුද්ගලික ආරක්‍ෂාවේ අයිතිය භාවිත කරමින් පොලිස් නිලධාරීන් අදාළ පුද්ගලයාගේ දණහිසෙන් පහළට වෙඩි තබා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.