Thursday, May 29, 2025

General line - 0115112241

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට අල්ලස් කොමිසමෙන් නඩු

උදය කුමාර



අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා. 

ඒ, සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමින්. 

අල්ලස් කොමිසම සඳහන් කරන්නේ 2010 වසරේ මාර්තු මස 31 වනදා සහ 2012 වසරේ මාර්තු මස 31 වනදා අතර කාලසීමාව තුළ විත්තිකාර හිටපු අමාත්‍යවරයා මෙම වරද සිදුකර ඇති බවයි. 

ඒ අනුව කඩවත ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා එක්කෝටි තිස් නව ලක්ෂ අනූනව දාහක මුදලක් වැය කර තිබෙනවා. 

කොළඹ 07, අර්නස්ට් ද සිල්වා මාවතේ ඉඩමක් මිලදී ගැනීම සඳහා හත් කෝටි දහතුන් ලක්ෂ අනූ නවදහසක මුදලක් හිටපු අමාත්‍යවරයා විසින් වැයකර තිබෙන බවත් අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාවල සඳහන් වනවා. 

ඊට අමතරව ඔහුගේ පුත් මාලක සිල්වා වෙනුවෙන් “මර්සිඩීස් බෙන්ස්” රථයක් මිලදී ගැනීම සඳහා තුන්කෝටි විසි තුන් ලක්ෂ හත්දහස් පන්සීයක මුදලක් වැය කර ඇති බවයි අල්ලස් කොමිසම පවසන්නේ.

 “හයි හුන්ඩායි” මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ පනස් පහකට අධික මුදලක් සහ “ඩිෆෙන්ඩර්” රථයක් මිලදී ගැනීම සඳහා අසූ අට ලක්ෂ පනස් දහසක මුදලක් වැය කර තිබෙනවා. 


ඒ ඇතුළු සිය නීත්‍යානුකූල ආදායම අභිබවා දේපළ අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. 

මෙම නඩුව තුළින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සංඛ්‍යාව දෙකක්.