Saturday, May 18, 2024

General line - 0115112241

අවුරුදු 60 විශ්‍රාම සීමාව නිසා බන්ධනාගාර දෙපාර්තමේන්තුව ගැටළුවක




බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරුන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු දෙසැම්බර් 31 වනදා විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා. ඒ, දෙසැම්බර් 31 වනදා සිට රජයේ සේවකයන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට රජය ගෙන ඇති තීරණයත් සමගයි.

එම නිලධාරින් දෙදෙනා විශ්‍රාම ගැනීමෙන් පසු තවදුරටත් සේවයේ නිරත වන කොමසාරිස්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු පෙබරවාරි මාසයේද, අනෙක් කොමසාරිස්වරයා ඔක්තෝබර් මාසයේද, විශ්‍රාම යාමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

සුදුසුකම් සම්පූර්ණ කරන ජ්‍යේෂ්ඨ බන්ධනාගාර අධිකාරීවරුන් අතරින් බන්ධනාගාර කොමසාරිස් තනතුර සදහා පත් කිරීම් සිදුකරනවා. කෙසේවෙතත් ජ්‍යේෂ්ඨ බන්ධනාගාර අධිකාරී තනතුරේ රාජකාරී සිදුකරන කිසිදු නිලධාරියෙකු මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය නොකරන බවයි වාර්තා වුණේ. ඊට හේතුවී ඇත්තේ එම තනතුර සදහා බන්ධනාගාර අධිකාරීවරුන් මූලික සුදුසුකම් සපුරනු ලබන්නේ ලබන මාර්තු මාසයෙන් පසුවීමයි. 

එලෙස සුදුසුකම් සපුරන බන්ධනාගාර අධිකාරීවරුන්ගෙන් අයදුම්පත් කැදවා සම්මුඛ පරීක්ෂණ සිදු කර ජ්‍යේෂ්ඨ බන්ධනාගාර අධිකාරී තනතුර සදහා ඔවුන් පත් කිරීමටද යම් කාලයක් ගත වන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. 

ඒ අනුව රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 න් විශ්‍රාම ගැන්වීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණය හේතුවෙන් ඉදිරි කාලසීමාව තුළ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරු සදහා පත්කිරීම් සම්බන්ධයෙන් ගැටලුකාරි තත්ත්වයක් පැන නැගිය හැකි බව පෙනී යනවා.