Monday, May 20, 2024

General line - 0115112241

රථ වාහන ලියාපදිංචි ගාස්තුවත් ඉහළට




රථ වාහන ලියාපදිංචි කිරීමේ ගාස්තු හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව යතුරුපැදි සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 3,000ක් වනවා. පළමුවරට ලියාපදිංචි වීමේ දී සීසී 1600 හෝ සීසී 1600ට අඩු මෝටර් රථ සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් 25,000ක්.

එමෙන්ම සීසී 1600ට වැඩි කිලෝවොට් 80ට වැඩි මෝටර් රථ සඳහා ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තුව රුපියල් 40,000ක් බවටයි අදාල ගැසට් නිවේදනයේ සදහන් වන්නේ. 

ආබාධ සහිත පුද්ගලයින් භාවිත කරන වාහන සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 2,000ක් වන අතර මෝටර් ගිලන් රථ, මෝටර් අවමංගල්‍ය රථ සඳහා ලියාපදිංචි ගාස්තුව රුපියල් 10,000ක් වනවා. විශේෂ කාර්ය වාහන පළමු වරට ලියාපදිංචි කිරීමේ ගාස්තුව රුපියල් 30,000ක් වන බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ. 

මේ අතර අද සිට ක්‍රියාත්මක වන පරිදි විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එක්දින සේවය යටතේ නිකුත් කෙරෙන විදෙස් ගමන් බලපත්‍රයක් සදහා ගාස්තුව රුපියල් 15,000 සිට රුපියල් 20,000 දක්වා ඉහළ දැමුණා.

සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තුව ඉහළ දමා ඇත්තේ රුපියල් 1,500කින්. ඒ අනුව රුපියල් 3,500ක්ව පැවති එම ගාස්තුව රුපියල් 5,000ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.