Saturday, May 18, 2024

General line - 0115112241

ආයෝජකයන් දිරි ගන්වන්න නව පැකේජයක් සකස් කරන්නැයි ආයෝජන මණ්ඩලයට උපදෙස්




පවතින ආයෝජන පැකේජය, ආයෝජකයන් ආකර්ෂණය කිරීමට ප්‍රමාණවත් නොවන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පවසනවා. මේ හේතුවෙන් මහබැංකුව සහ භාණ්ඩාගාරයට කරුණු පැහැදිළි කර ආයෝජකයන් දිරිගන්වන සුලු නව පැකේජයක් සැකසිය යුතු බවයි එම උපදේශක කාරක සභාව ආයෝජන මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත්තේ.

ඒ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් පැවති ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමේදී ද ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබිය යුතු බව එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පෙන්වා දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

එබැවින් ඒ පිළිබදව ශ්‍රී ලංකා මහ බැංකුවට සහ මහා භාණ්ඩාගාරයට පැහැදිලිව සන්නිවේදනය කිරීම අතවශ්‍ය බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙනවා. පවතින පැකේජය යටතේ ව්‍යාපෘති, ආයෝජන සහ රැකියා කොපමණ ප්‍රමාණයක් ලැබී තිබේද යන්න පිළිබඳ දත්ත මීළඟ රැස්වීමේදී ඉදිරිපත් කරන ලෙසද කමිටුව විසින් ආයෝජන මණ්ඩලයට උපදෙස් ලබා දුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙහිදී ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ අනෙකුත් රටවල් හා සැසදීමේදී ආයෝජන මණ්ඩලය ලෙස තමන්ට ආයෝජකයන්ට ලබාදිය හැකි සහන අවම මට්ටමක පවතින බවයි. බදු සහන ඉවත් කිරීම හේතුවෙන් ආයෝජකයින් පැමිණීමේ අඩුවීමක් දැකිය හැකි බව එම නිලධාරීන් පවසා තිබෙනවා.

ආයෝජන සදහා විදේශිකයන්ට ඉඩම් මිලදී ගැනීමට හැකිවන පරිදි නීති සංශෝධනය කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.