Saturday, May 18, 2024

General line - 0115112241

විගණන නිලධාරියෙකුට මරණ තර්ජනය කළ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්




වයඹ පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ සේවය කරනු ලබන විගණන නිලධාරියෙකුට ජීවිත තර්ජන එල්ල කළ සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 විගණකාධිපතිවරයා විසින් කළ පැමිණිල්ලකට අනුව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

අදාළ නිලධාරියා සිදු කරනු ලැබූ විගණන කටයුත්තකදී අනාවරණ වී ඇති අක්‍රමිකතා හේතුවෙන් ඔහුට දුරකථනය මගින් හා නිවසට පැමිණි නාදුනන පුද්ගලයන් විසින් ජීවිත තර්ජන එල්ල කර තිබෙනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු සහ වැල්ලවත්ත ප්‍රදේශයේදී සැකකාරියක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.

වයස අවුරුදු 26ක් වූ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි සැකකාරිය රූපලාවන්‍ය ශිල්පිනියක් වනවා. සැකකරුවන් දෙදෙනා වාරියපොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයින් බවයි පොලීසිය පැවසුවේ.

සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බවද පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.