Sunday, May 19, 2024

General line - 0115112241

මතභේදයට තුඩු දුන් යූරියා පොහොර ගැන CIDයට පැමිණිලි කිරීමට අවධානය




අනුරාධපුර, පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ තිබූ පොහොර මිටි කිහිපයක නියමිත බර නොමැති බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලබන සතියේ තීරණයක් ගන්නා බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

යූරියා පොහොර බෙදා හැරීම පිළිබදව රජය ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සදහා එලෙස අසත්‍ය ප්‍රචාර සිදු කර ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගොවි වෘත්තීය සමිති කිහිපයක් මෙන්ම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරියෙකු මාධ්‍ය හමුවේ විවිධ ප්‍රකාශ කර තිබූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවේ.  

මේ අතර යූරියා පොහොර මිටි 14ක නියමිත බර නොමැති බවට විවිධ පාර්ශ්ව එල්ල කළ චෝදනාවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොමර්ෂල් පොහොර සමාගමද පැවසුවා. 

අනුරාධපුර, පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ තිබූ එම පොහොර මිටි දාහතරේ නියමිත බර නොමැති බවට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් පළමුව ප්‍රකාශ කර තිබුණා. ඒ, එම මධ්‍යස්ථානයේ ගබඩාවේ තිබූ පොහොර මිටි කිහිපයක බර කිරා බැලීමෙන් අනතුරුව එලෙස අඩු බරින් යුත් යූරියා පොහොර මිටි 14ක් ඔවුන් භාරයට ද ගනිමින්. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය එහිදී ප්‍රකාශ කළේ ඊට එරෙහිව නඩු පවරන බවයි. 

ඉන් අනතුරුව අදාල පොහොර ගැටලුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් කොමර්ෂල් පොහොර සමාගමට උපදෙස් ලබාදෙනු ලැබුවා. ඒ අනුව ක්‍රියාත්මක වූ එම පොහොර සමාගමේ සභාපතිවරයා අදාල සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට කමිටුවක්ද පත් කළා.

එහිදී අනාවරණ වුණේ අදාළ පොහොර මිටිවල බර කිරීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය යොදා ගෙන ඇත්තේ සහතික නොකළ එල්ලන දුනු තරාදියක් බවයි. එම තරාදිය ගබඩාවට ආසන්න නිවසකින් ලබාගෙන ඇති බවටද වැඩිදුරටත් අනාවරණ වී තිබෙනවා.