Sunday, May 19, 2024

General line - 0115112241

ගොවිජන මධ්‍යස්ථානවලින් යූරියා නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්




ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ගොවීන් වෙත යූරියා මිටි ලබාදීමේදී ඒවායේ බර කිරා බැලීමෙන් අනතුරුව ගොවීන් වෙත නිකුත් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර උපදෙස් ලබාදී තිබෙනවා.

පේමඩුව, ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් වාර්තා වූ සිදුවීම පදනම් කර ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.

කෙසේවෙතත් මෙම ක්‍රමවේදය හේතුවෙන් ගොවීන්ට ගොවිජන සේවා  මධ්‍යස්ථානවල අමතර කාලයක් ගත කිරීමට සිදුවන බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. එහෙත් රජයේ පොහොර වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඇතැම් පිරිස් උත්සහ දරමින් සිටින බැවින් මෙම ක්‍රමවේදය නිසි පරිදි ක්‍රියාත්මක කරන ලෙසයි අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන් වෙත දැනුම්දී ඇත්තේ. 

මේ අතර පේමඩුව, පොහොර ගබඩාවට මුද්‍රා තැබීමට ලංකා කමර්ෂල් පොහොර සමාගම කටයුතු කර තිබෙනවා. පොහොර නිකුත් කිරීමේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන නෛතික කටයුතු අවසන් වනතෙක් මෙලෙස මෙම ගබඩාව මුද්‍රා තැබීම සිදුවන ඇති. 

ඒ අනුව එම ප්‍රදේශයේ ගොවීන්ට යූරියා පොහොර මිලදී ගැනීමට මේවනවිට හැකියාවක් නොමැති වීම හේතුවෙන් අමතර යූරියා පොහොර ලොරි කිහිපයක් එම ප්‍රදේශයට යැවීමට  ද ලංකා කමර්ෂල් පොහොර සමාගම කටයුතු කර ඇති බවයි එම සමාගමේ සභාපති ජගත් පෙරේරා පැවසුවේ.