Friday, May 3, 2024

General line - 0115112241

විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 27කින් ඉහළට - අඛණ්ඩ විදුලි සැපයුමටත් බලපෑම්




ලබන වසරේදී මේ වසරේ තරම් වර්ෂාපතනයක් නොලැබෙනු ඇති බවට අනාවැකි පළවීම හේතුවෙන් විදුලි ඒකකයක නිෂ්පාදන වියදම දෙගුණයකින් ඉහළ යන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

මේ වන විට විදුලි ඒකකයක ජනන වියදම රුපියල් 29ක්. එහෙත් ලබන වසරේදී එම අගය රුපියල් 56.90ක් දක්වා ඉහළ යනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ. ඒ අනුව ලබන වසරේ විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් 27.10කින් ඉහළ යනු ඇති.

අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේ පවතින තත්ත්වය හමුවේ පැය 24ක අඛණ්ඩ විදුලි සැපයුම් අර්බුදයකට ලක්විය හැකි බවයි. 

ලබන වසරේදී විදුලි උත්පාදනයට වැඩි වශයෙන් ගල් අගුරු යොදා ගැනීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හිටපු ජල සම්පාදන අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ ශ්‍රී ලංකාව ජලය අපනයනය කිරීම වහාම නතර කළ යුතු බවයි.

මේ අතර රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබාගැනීම සදහා ශ්‍රී ලංකාව සාකච්ඡා වට කිහිපයක් ආරම්භ කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍ය අලී සබ්රි පවසා ඇත්තේ. සෘජුවම රුසියාවෙන් නැතහොත් ඉන්දියාව හරහා හෝ රුසියානු බොරතෙල් ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බවද අමාත්‍යවරයා සදහන් කර තිබුණා.     

අයවැය කාරකසභා අවස්ථා විවාදයේ හතරවන දිනය වන අද රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මෙන්ම බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා. පෙරවරු 9යි 30ට රැස්වන පාර්ලිමේන්තුව රාත්‍රී 7 දක්වා පැවැත්වීමට නියමිතයි.