Friday, May 3, 2024

General line - 0115112241

හොදම කිරි දෙනුන් දේශපාලඥයින් බෙදාගෙන




මෙරටට කිරි දෙනුන් ආනයනය කිරීම පිටුපස දැවැන්ත වංචාවක් ඇතැයි සමස්ත ලංකා ගොවි ජන සේවා සම්මේලනය චෝදනා කරනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ කිසිදු ප්‍රමිතියකින් තොරව මෙරටට ගෙන්වූ මෙම කිරි ගවයින් හේතුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් රෝග දෙකක්ද පැමිණ ඇති බවයි.

එමෙන්ම මෙලෙස කිරි දෙනුන් ආනයනය කිරීම සිදු නොකරන ලෙසට දැනුම්දී තිබියදී යළිත් වරක් කිරි දෙනුන් ආනයනයට ඩොලර් මිලියන ගණනක ඇස්තමේන්තු ලබා දීම ගැටලු සහගත බව ඔහු පැවසුවා.

ශ්‍රී ලංකාවට කිරි දෙනුන් ආනයනය නොකර මෙරට ගව සම්පත වර්ධනය කිරීමට ඕනෑ තරම් ක්‍රමවේද ඇති බවයි ඔහු පැවසුවේ.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයෙන්ද විමසීමක් කළා. එහි සභාපති එච් ඩබ්ලිව් සිරිල් සදහන් කළේ මෙලෙස කිරි දෙනුන් ආනයනය කිරීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කිසිදු මැදිහත්වීමක් නොමැති බවයි. මතභේදයට තුඩු දී ඇති කිරි දෙනුන් ආනයනය කිරීම සිදු කර ඇත්තේ පශූ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය බවද සභාපතිවරයා නෙත් නිවුස් වෙත පැවසුවා.

අමෙරිකානු ඩොලර් මිලියන 33ක් වැය කර මෙරටට ආනයනය කළ කිරි දෙනුන්ගෙන් සියයට 90කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබියදීත් තවත් කිරි දෙනුන් පිරිසක් ආනයනය කිරීමට අමෙරිකානු ඩොලර් මිලියන 11 යි දශම බින්දුවයි 9 ක මුදලක් වැය කර ඇතැයි නෙත් නිවුස් ඊයේ අනාවරණ කළා. 

2018 වසරේදී ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට කිරි දෙනුන් ආනයනය කිරීමට අත්තිකාරම් මුදල් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 11 යි දශම බින්දුවයි 9ක මුදලක් වැය කර තිබුණා. එහෙත් සතුන් ලබාගැනීමක් හෝ එම මුදල් අයකරගැනීමට කටයුතු කිරීමක් මෙතෙක් සිදු වී නොමැති බවටයි අනාවරණ කෙරුණේ.

2012, 2013 සහ 2015 වර්ෂවලදී අමෙරිකානු ඩොලර් මිලියන 33යි 7ක් වැයකොට ඕස්ටේ්‍රලියාවෙන් ආනයනය කරන ලද කිරි දෙනුන් 4,495න් 3,991ක් මියගොස් ඇති බවද අනාවරණය වී තිබෙනවා. 

මෙලෙස කිරි දෙනුන් මිය යාම සම්බන්ධයෙන්ද නෙත් නිවුස් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති එච් ඩබ්ලිව් සිරිල්ගෙන් විමසීමක් කළා. ඔහු පැවසුවේ කිරි දෙනුන් සමග මෙරටට පැමිණි රෝගය හේතුවෙන් සතුන් මිය ගිය බවයි. එම රෝගය මෙරට නොතිබූ බැවින් එය සොයා ගැනීමට මෙන්ම ප්‍රතිකාර කිරීමටද ප්‍රමාද වූ බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.