Thursday, May 9, 2024

General line - 0115112241

ඌන උපයෝජිත ඉඩම්ගැන රජයේ අවධානය යොමුවෙයි




මහා පරිමාණ වැවිලි සමාගම් සතු ඌන උපයෝජිත ඉඩම් රජයට පවරාගැනීම පිළිබඳ මේ වන විට අවධානය යොමු වී ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ඒ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටද සිදු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ, වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

 
අමාත්‍යවරයා පවසන්නේ මහා පරිමාණ වැවිලි සමාගම් අලුත් පැළ වගා කිරීම මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ නවතා ඇති බවයි.

ඒ වෙනුවට පවතින වගාව පවත්වාගෙන යාම හෝ එම ඉඩම්වල පවතින ගස් කපා විකිණීමට කටයුතු කරන බවද ඔහු පැවසුවා.

එමෙන්ම රජයේ පොදු කටයුත්තකට කුඩා ඉඩම් ප්‍රමාණයක් හෝ ඔවුන් ලබා නොදෙන බවයි අමාත්‍යවරයා චෝදනා කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත්තේ මෙම ඌන උපයෝජිත ඉඩම් රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය නීති කෙටුම්පත් කටයුතු සඳහා තම පාර්ශ්වයේ සහයෝගය ලබාදෙන බවයි.