Monday, May 13, 2024

General line - 0115112241

ඉන්දියාවේ ආර්ථිකය ගැන ඇමරිකාවෙන් අනාවැකියක්




ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව අගය කළ යුතු මට්මකට පැමිණ ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානු කටයුතු පිළිබද නියෝජිත එලිසබෙත් ජෝන්ස්  පවසනවා.

දිල්ලි නුවර ඉන්දියා හැබිටේට් සෙන්ටර් හි පැවති උත්සවයක් අමතමින් ඇය පැවසුවේ, කොරෝනා වසංගතය අභියෝගයක් කර නොගත් ඉන්දියාව මේ වන විට ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් ලබමින් සිටින බවයි.

ඉන්දියාව මේවනවිට බ්‍රිතාන්‍යය ද අභිබවා යමින් ලොව පස්වන විශාලතම ආර්ථිකය බවට පත්ව සිටිනවා.

ඒ අනුව මේ වනවිට ඉන්දියාවට වඩා විශාල ආර්ථිකයක් ඇති  ජාතීන් වන්නේ අමෙරිකාව, චීනය, ජපානය සහ ජර්මනිය පමණක් බවයි  ඇය සදහන් කළේ.

ඉන්දියාව එක් කෙළවරක කෘෂිකර්මාන්තයේ සිට අනෙක් අන්තයේ අභ්‍යවකාශය දක්වා සියලුම ව්‍යාපාරික අංශ හරහා නව්‍යකරණයන් පෙන්වා ඇති බව ද  එක්සත් ජනපද භාරකාර එලිසබෙත් ජෝන්ස් ප්‍රකාශ කරනවා.

ඉන්දියාවේ ප්‍රගතිය අනුව ඔවුන් 2029 වනවිට ලොව 03 වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියනු ඇති බව ද ඇය එහිදී පුරෝකථනය කර තිබෙනවා. 

ඩොලර් බිලියන 1ක් හෝ ඊට වැඩි ප්‍රාග්ධනයක් සහිත සමාගම් 107කට ඉන්දියාව මේවනවිට නිවහන වී ඇති බැවින් ඔවුන්ගේ ආර්ථිකය ස්ථාවර හා ශක්තිමත් බව ද ඇය අවධාරණය කළා.