Friday, May 3, 2024

General line - 0115112241

නවතා දැමූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ පාඩුව තීරණගත් අයගෙන් අයකර ගන්න - පාඨලීගෙන් ප්‍රකාශයක්




ජපන් රජයේ ණය ආධාර යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම හරහා මෙරටට අහිමි වූ මුදල, එය අත්හිටුවීමට අනුබල දුන් නිලධාරින්ගෙන් අයකර ගත යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉකුත් දා පාර්ලිමේන්තුවට ඉදිරිපකළ විගණන වාර්තාව සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකට පිළිතුරු ලබාදෙමින් හිටපු අමාතවරයා මේ බව කියාසිටියා. 

කෙසේවෙතත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන ඊයේ ප්‍රකාශ කළේ අදාළ ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ජපාන රජය එකගතාව පළ කර ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකා රජය එකගතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි බව ජපාන රජයේ බලධාරීන් ප්‍රකාශ කර ඇති බවද ජනාධිපති ජ්‍යේෂ්‍යඨ උපදේශක රුවන් විජේවර්ධන වැඩිදුරටත් සඳහන් කළා.

මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පවතින තත්ත්වයන් හමුවේ යළි ආරම්භ කළ හැකිදැයි, නෙත් නිවුස් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගෙන් විමසා සිටියා.

ජපාන රජයේ ණය ආධාර යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඒකපාර්ශවිකව අවලංගු කිරීම හේතුවෙන් රුපියල් මිලියන 598 ක මුදලක් අපතේ ගොස් ඇති බව ඒ සම්බන්ධයෙන් ඉකුත් දා එළිදැක්වූ විගණන වාර්තාවේ සඳහන් වනවා.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ නොකරන්නේ නම් ව්‍යාපෘතියේ ප්‍රධාන උපදේශක සමාගම වන ඔරියන්ට් කන්සල්ටන්ට් ග්ලෝබල් සමාගම ඉල්ලුම් කරන ලද රුපියල් මිලියන 5169 ක මුදලක් ගෙවීමට සිදුවන බව ද  එම වාර්තාවේ සඳහන් වනවා.

මෙම තත්ත්වය තුළ අදාළ උපදේශන සමාගම ද බේරුම්කරණය සඳහා ජාත්‍යන්තර අධිකරණයට යාමට තීරණය කළ හොත් ඒ සම්බන්ධයෙන් අධික පිරිවැයක් මෙරට රජයට දැරීමට සිදුවන බව ද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.