Tuesday, May 7, 2024

General line - 0115112241

වෛද්‍යවරුන් විශ්‍රාම ගත යුතු වයස වෙනස් කෙරේ




වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ විශේෂඥ වෛද්‍ය නිලධාරී, රජයේ වෛද්‍ය නිලධාරී, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී සහ රජයේ ලියාපදංචි වෛද්‍ය නිලධාරී යන තනතුරු සඳහායි.

එහිදී විශ්‍රාම වයස් සීමාව කාණ්ඩ 5ක් යටතට ඇතුළත් කර තිබීම විශේෂත්වයක්. 


ඒ අනුව දැනටමත් වයස අවුරුදු 63 සම්පුර්ණ කර ඇති වෛද්‍යවරුන් 2022 දෙසැම්බර් 31 වන දිනට පෙර විශ්‍රාම ගැනීම සිදුකළ යුතු වනවා.

මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පුර්ණ වීමේ දී විශ්‍රාම ගත යුතුයි.

තුන්වන කාණ්ඩය යටතේ මේ වන විට වයස අවුරුදු 61 සම්පුර්ණ වී ඇති වෛද්‍යවරුන් වයස අවුරුදු 62 සම්පුර්ණ වීමත් සමග විශ්‍රාම ගැන්විය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.


මේ වන විට අවුරුදු 60 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 61 සම්පුර්ණ වීමත් සමග විශ්‍රාම යා යුතු වනවා.

එමෙන්ම මේ වන විට වයස අවුරුදු 59 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 60 සම්පුර්ණ වන විට විශ්‍රාම ගැන්විය යුතු බවටයි නව සංශෝධනයේ දැක්වෙන්නේ.


කෙසේ වෙතත් ලබන ජනවාරි මස පළමු වැනි දින සිට ජුනි මස 30 වන දින දක්වා කාලසීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ ජුනි මස 30 වන දින දක්වා සේවය කිරීමට අවස්ථාව ලබා දී විශ්‍රාම ගැනීමට අවස්ථාව ලබා දී තිබෙනවා.


එමෙන්ම ජුලි මස පළමු වැනි දින සිට දෙසැම්බර් 31 වන දින දක්වා කාලසීමාව තුළ උපන්දිනය යෙදෙන වෛද්‍යවරුන්ට අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 වන දින දක්වා සේවය කිරීමට අවස්ථාව ලබා දී විශ්‍රාම ගැනීමට ඉඩ ලබා දී තිබීම ද විශේෂත්වයක්.

මෙම සංශෝධන ලබන වසරේ දෙසැම්බර් 31 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


මෙම තීරණය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය රුවන් ජයසූරිය මෙලෙස අදහස් පළකළා.


රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා ගෙන ඇති තීරණය විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් ජනවාරි මස 25 වන දින දක්වා ක්‍රියාත්මක කිරිම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා