Monday, May 6, 2024

General line - 0115112241

ප්‍රකට ව්‍යාපාරිකයාගේ ඝාතකයින් අල්ලන්න විශේෂ මෙහෙයුමක්




ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වූ දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අංශ කිහිපයක් ඔස්සේ විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලු අංශ කිහිපයක් ඊට අයත්. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීසීටීවී කැමරා දර්ශණ ද උපයෝගී කරගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. 

බොරැල්ල පොදු සුසාන භූමියේදී දෑත් ගැටගසා, ගෙල සිරකර, බරපගල තුවාල සහිතව මෝටර් රථයක් තුළ සිටියදී සොයාගත් ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් රෝහල්ගත කිරීමෙන් පසු ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා. ඒ, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, රුපියල් කෝටි ගණනක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසා ඔහු නිවසින් පිටත්ව ගොස් ඇති බවයි. ඊට ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකුගේද නම ඈඳී තිබෙනවා. ඔහු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාගෙන් ලබාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි 03ක්ද සභාපතිවරයා සිදුකර තිබූ බවටයි වාර්තා වන්නේ.                      

මේ අතර මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය මැඩලීම් සඳහා උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවා උපදෙස්දී තිබෙනවා.

ඒ, ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වූ දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණවල ප්‍රගතිය විමසා බැලූ අවස්ථාවේදීයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන මෙන්ම මත්ද්‍රව්‍ය මැඩලීම සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශන වල ප්‍රගතිය ද අමාත්‍යවරයා විසින් මෙහිදී විමසා බලා තිබෙනවා.