Monday, May 13, 2024

General line - 0115112241

නව නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා රාජකාරි අරඹයි




ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අද සිය ධූරයේ රාජකාරි ආරම්භ කළා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුව වයිස් අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් අනතුරුවයි.

හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් නව නාවික හමුදාපතිවරයා වෙත සම්ප්‍රදායානුකූලව නාවික හමුදාපතිවරයාගේ අසිපත පිරිනැමීම සහ රාජකාරී භාර දීම නාවික හමුදා මූලස්ථානයේදී අද උදෑසන සිදු කෙරුණා. 

වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වනවා. 1987 වර්ෂයේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ 05 වන බඳවා ගැනීමට අයත් ශිෂ්‍ය භට නිලධාරියෙකු වශයෙන් වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක් වුණා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් සහ නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් මූලික පුහුණුව සාර්ථක ලෙස අවසන් කළ වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, 1989 වර්ෂයේ උප ලුතිතන් වරයෙකු වශයෙන් අධිකාරියට පත් වනවා.

ඔහු 1992 වර්ෂයේදී නාවික හා සාගරික විද්‍යාපීඨයෙන් උප ලුතිතන් තාක්ෂණික පාඨමාලාව සාර්ථකව හදාරා ඇති අතර කිමිදුම් නිෂ්කාශනය සම්බන්ධ විශේෂඥතාව හදාරන්නේ 1994 දී ඉන්දීය නාවික හමුදා කිමිදුම් පාසලෙන්.

එතැන් සිට ක්‍රමාණුකූලව උසස් වීම් ලබමින් 2020 වර්ෂයේ ජූලි මස 15 දින ප්‍රියන්ත පෙරේරා රියර් අද්මිරාල් නිලයටත්, අද දින වයිස් අද්මිරාල් නිලයටත් උසස් වීම් ලබනවා.

සිය සේවා කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විවිධ නිළතල රාශියක් දරා ඇති ඔහු, වේග ප්‍රහාරක මුර යාත්‍රාවන්හි අණභාර නිලධාරී ලෙස සහ ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා හා ආයතනයන්හි මෙන්ම විශේෂ යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී වශයෙන් ද රාජකාරී සිදුකර තිබෙනවා.

එමෙන්ම, ඔහු අධ්‍යක්ෂ නාවික පුහුණු, නාවික හමුදා පර්යේෂණ ඒකකයේ ප්‍රධානී, උතුරු මැද නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, අධ්‍යක්ෂ නාවික විශේෂ බලකා, අධ්‍යක්ෂ නාවික මෙහෙයුම්, අධ්‍යක්ෂ නාවික විදේශීය සහයෝගීතා, අධ්‍යක්ෂ නාවික සමුද්‍රීය ආවේක්ෂණ, දකුණු නාවික විධානයේ ආඥාපති සහ උතුරු නාවික විධානයේ ආඥාපති වශයෙන් ද රාජකාරී සිදු කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා නාවික හමුදාධිපති ලෙස පත්වීමට පෙර කටයුතු කළේ නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේයි.

තිස් වසරකට ආසන්න කාලයක් මෙරට පැවති ත්‍රස්තවාදය තුරන් කිරීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායකවී ඇති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා , රණශූර හා උත්තම සේවා යන පදක්කම් වලින් ද පිදුම් ලබා තිබෙනවා.

ඔහුගේ දක්ෂතාවය, කැපවීම සහ ආදර්ශමත් කාර්ය සාධනය ඇගයීම වෙනුවෙන් නාවික හමුදාධිපතිවරුන් විසින් අවස්ථා හතකදී ප්‍රශංසාත්මක ලිපි ප්‍රදානය කර ඇති බවයි නාවිකා හමුදාව වැඩිදුරටත් සඳහන් කළේ.