Monday, May 13, 2024

General line - 0115112241

තවත් සංචාරකයින් පිරිසක් රැගත් නෞකාවක් කොළඹ වරායට




සංචාරකයින් 108 දෙනෙකු රැගත්  “ඕෂන් ඔඩිසි”  නම් නෞකාව අද දහවල් කොළඹ වරායට පැමිණ තිබෙනවා.

අමරිකානු සමාගමකට අයත් මෙම නෞකාවෙන් එරට ධනවත්ම සංචාරකයින් 108 දෙනෙකු පැමිණ ඇති බවයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම නෞකාව දිගින් මීටර් 105ක් හා පළලින් මීටර් 18.5ක් වනවා. ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට පැමිණි මෙම නෞකාව හෙට දින ත්‍රිකුණාමල වරාය වෙත යාත්‍රා කිරීමට නියමිතයි.

මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයින් පිරිස කොළඹ, කුරුණෑගල, හබරන, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිත බවයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය පැවසුවේ.

ලබන 21වනදා රාත්‍රී 7ට මෙම නෞකාව ත්‍රිකුණාමල වරායෙන් තායිලන්තය දක්වා යාත්‍රා කිරීමට නියමිතයි.