Tuesday, May 14, 2024

General line - 0115112241

චීනය අසරණ කළ කොවිඩ් ප්‍රභේදය ඉන්දියාවෙන් හමුවෙයි - BF.7 අනු වෛරස ප්‍රභේදයේ රෝග ලක්ෂණ ගැනත් දනුම් දෙයි




චීනය තුළ දැඩි කොවිඩ් ව්‍යාප්තියකට හේතුවී ඇති බවට සැලකෙන ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන BF.7 වෛරසය ආසාදනය වූ රෝගීන් තිදෙනෙකු ඉන්දියාවෙන් මේ දක්වා හඳුනා ගෙන ඇති බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

එම කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පළමු ආසාදිතයා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී වාර්තා වී ඇත.

ඉන් පසුව මේ දක්වා ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයින් දෙදෙනෙකු සහ ඕඩිසා ප්‍රාන්තයෙන් එක් ආසාදිතයෙකුට ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් වන BF.7 වෛරස් කාණ්ඩය ආසාදනය වී ඇති බවට සිදුකළ ජෛව සාම්පල් පරීක්ෂාවන් ගෙන් තහවුරු වී ඇත.

BF.7 උප වෛරස් කාණ්ඩය යුරෝපයේ රටවල් රැසක මෙන්ම එංගලන්තය සහ අමෙරිකාව වැනි රටවල් තුල මේවන විට ව්‍යාප්තව පවතී.

BF.7 යනු ඔමික්‍රෝන් කොවිඩ්  ප්‍රභේදයේ BA.5 අනු කාණ්ඩ වෛරසයේ උප ප්‍රභේදයක් වන අතර, එය ඉතා ඉහළ සම්ප්‍රේෂණ අගයකින් යුක්තය.

එමෙන්ම BF.7 වෛරසය ආසාදිත පුද්ගලයෙකුට නිරාවරණය වන තවත් පුද්ගලයෙකුට ඉතා කෙටි කාල සීමාවක් තුළ රෝග ලක්ෂණ පෙන්වනු ලබන අතර  එය කොවිඩ් එන්නත ලබාගෙන සිටින අයට පවා වෛරසය ආසාදනය කිරීමට වැඩි ඉඩකඩක් සහිත වෛරස් ප්‍රභේදයක් ලෙස සැලකෙනවා.

BF.7 අනු වෛරස ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවාද ?

Peking සරසවියේ බෝවන රෝග පිලිබඳ ඒකකයේ අධ්‍යක්ෂක Wang Guiqiang සඳහන් කරන පරිදි මෙම වෛරස් ප්‍රභේදය ආසාදනය වන රෝගියෙකුට පහත දැක්වෙන රෝග ලක්ෂණ දැකිය හැක.

1. උගුරේ වේදනාව
2. නහයෙන් සොටු දියර මෙන් ගැලීම
3. ශරීරයේ ඇතිවන වේදනාවන්
4. මද හෝ දැඩි උණ රෝගී තත්ත්වයන්.