Saturday, May 4, 2024

General line - 0115112241

කොරෝනා ආසාදිතයින් ඉහළ යද්දී චීනය විදේශිකයින්ව නිරෝධායනයෙන් නිදහස් කරයි




කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශිකයින් සිය රටට පැමිණීමේදී පනවා තිබූ බාධා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට චීනය තීරණය කර තිබෙනවා. ඒ, 2020 වසරෙන් අනතුරුව පළමු වරටයි.

ඒ අනුව චීනයට ඇතුළුවන විදේශිකයින් අනිවාර්යයෙන් නිරෝධායනයට ලක් කිරීමේ ප්‍රතිපත්තිය ඉවත් කිරීමට චීනය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊට අනුව එළඹෙන ජනවාරි 08 වනදා සිට චීනය සිය රටට පැමිණෙන විදේශිකයින් නිරෝධායනයට ලක් නොකරනු ඇති.

චීනය මෙතෙක් ක්‍රියාත්මක කළ කොරෝනා මර්ධන ප්‍රතිපත්ති හමුවේ එරට ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වුණා. කෙසේවෙතත් චීනය මෙලෙස විදේශිකයින්ව නිරෝධායනයෙන් නිදහස් කර ඇත්තේ රට තුළ යළිත් සීග්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක් තුළයි. 

මෙවර චීනය තුළ ව්‍යාප්ත වෙමින් ඇති කොරෝනා රැල්ල හේතුවෙන් චීනයේ ප්‍රධාන නගරවල රෝහල් සියල්ල ආසාදිතයින්ගෙන් පිරී පවතින අතර මෘත ශරීරාගාර සහ ආදාහනාගාර මළ සිරුරුවලින් පිරී පවතින බවයි විදෙස් මාධ්‍ය අඛණ්ඩව වාර්තා කරන්නේ.

එමෙන්ම මේවනවිට චීනයේ ප්‍රධාන නගරවල පිහිටි දැඩි සත්කාර ඒකක ද අසාධ්‍ය තත්ත්වයේ පසුවන ආසාදිතයින්ගෙන් පිරී පවතින අතර ඒවායෙහි තවදුරටත් රෝගීන් ඇතුළත් කර ගැනීම සඳහා පහුසකම් නොමැති බවයි වාර්තා වන්නේ. එවන් පසුබිමක් තුළ චීනය කොරෝනා ආසාදිතයින් සහ මරණ පිළිබඳ දෛනික වාර්තා නිකුත් කිරීම ද  අත්හිටුවා තිබෙනවා.