Friday, May 3, 2024

General line - 0115112241

පුංචි ඡන්දයේ තැපැල් ඡන්ද අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ සම්පුර්ණ කිරීමට අවස්ථාව




පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ද සම්පූර්ණ කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ අද සිට ලබන 23වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර එම අයදුම්පත් භාර ගන්නා බවයි.

එම දිනය නැවත කිසිසේත් දීර්ඝ නොකරන බවද ඔහු පැවසුවා. ඡන්දය දීමට ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේදී ඒ සඳහා වූ තොරතුරු ඔවුන් විසින් 2022 පළාත් පාලන ආයතන ඡන්දය හිමි නාමලේඛනයෙන් නිවැරදිව ලබා ගත යුතු වනවා. 

සහතික කිරීමේ නිලධාරීන් විසින් තැපැල් ඡන්ද අයදුම්පත් පෞද්ගලිකව පරීක්ෂාකර ඉල්ලුම්කරුගේ අනන්‍යතාවය පිළිබඳ නිසැකව සහතික කළ යුතු බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ.

සහතික කරනු ලැබූ අයදුම්පත්, අයදුම්කරුවන් විසින් ඡන්ද හිමියන් වශයෙන් ලියාපදිංචි දිස්ත්‍රික්කයේ තේරීම්භාර නිළධාරී වෙත ජනවාරි 20 දින හෝ ඊට පෙර යැවිය යුතු වනවා. නියමිත දිනට පසුව ලැබෙන අයදුම්පත් හා අසම්පූර්ණ අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කළුතර දිස්ත්‍රික්කය සඳහා පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීම අද සිදුකෙරෙනවා.

පෙරවරු 08 ට කළුතර බෝ සමිඳුන් අභියසදී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව පක්ෂයේ නියෝජිතයින් විසින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසුවේ.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දැන්වීම මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරනු ලැබුවේ ඊයේ දිනයේදීයි. ඒ අනුව ජනවාරි 18 වනදා සිට 21වනදා දහවල් 12 දක්වා නාම යෝජනා භාරගන්නා බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.