Friday, May 3, 2024

General line - 0115112241

නගරයක් යුධ පිටියක් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇල්ලු මෙහෙයුම : සහයට ප්‍රහාරක හෙලිකොප්ටර් යානාත් කැඳවයි (PHOTOS / VIDEOS)




අවම වශයෙන් පුද්ගලයින් 29 දෙනෙකුට මරු කැඳවමින් ආරක්ෂක අංශ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් පසුව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ  'එල් චැපෝ' හෙවත් ජෝආකින් ගුස්මාන් ගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට මෙක්සිකානු බලධාරීන් සමත්ව තිබෙනවා.

මෙම මෙහෙයුමේදී මෙක්සිකානු ආරක්ෂක හමුදා සෙබළුන් 10 දෙනෙකු සහ 'සිනාලෝවා' නමින් හඳුන්වනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන සංවිධානයේ සාමාජිකයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි මෙක්සිකානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ.

මේ වන විට අමෙරිකාවේ සිරගත කර සිටින 'එල් චැපෝ' හෙවත් ජෝආකින් ගුස්මාන් 'සිනාලෝවා' නම් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ සංවිධානයේ හිටපු ප්‍රධානියා වනවා.

ඔහුගේ පුත්‍රයා  Ovidio 'El Raton' Guzman හෙවත් 'මවුස්' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන අතර 'සිනාලෝවා' මත්ද්‍රව්‍ය සංවිධානයේ මෙහෙයුම් භාරව මේ වන විට කටයුතු කරනු ලබන්නේ ඔහු වන බවයි මෙක්සිකානු ආරක්ෂක බලධාරීන් සඳහන් කර සිටින්නේ.

මිට තෙවසරකට පෙරද මෙක්සිකානු බලධාරීන් Ovidio 'El Raton' Guzman හෙවත් 'මවුස්' අත්අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුමක් අවසන් වුයේ දෙපාර්ශවයට බරපතල ජිවිත හානි ගෙන දෙමින්ය.

මෙක්සිකෝවේ, උතුරු කුලියාකන් නගරයේ සිදුකළ මෙමෙ මෙහෙයුමෙන් පසු එම නගරය එකම යුධ පිටියක් සේ දිස්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ආරක්ෂක අංශ වෙත .50 වර්ගයේ කැලිබර් මැෂින් තුවක්කු උපයෝගී කර ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති අතර එලෙස අවි සවිකළ රථ 25ක් පමණ කැඳවීමත් සමග එම රථ ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට මෙක්සිකානු ගුවන් හමුදාවේ බ්ලැක්හෝක්  ප්‍රහාරක හෙලිකොප්ටර් යාන කිහිපයක් ද කැඳවීමට සිදුවූ බව මෙක්සිකානු ආරක්ෂක බලධාරීන් සඳහන් කර සිටියි.

මෙම මෙහෙයුමේදී මෙක්සිකානු පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සහ හමුදා නිලධාරීන් 35 දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගනු ලැබූ 'එල් චැපෝ' ගේ පුත්‍රයා අමෙරිකාවේ ආරක්ෂක අංශ වෙත භාරදීමට නියමිතව ඇති බවත් ඒ සඳහා මෙතෙක් අධිකරණ ක්‍රියාමාර්ග අවසන් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.