Thursday, May 9, 2024

General line - 0115112241

පුංචි ඡන්දයේ ඇප මුදල් භාර නොගන්නා ලෙසට දිස්ත්‍රික් ලේකම්වරුන්ට යැවූ ලිපිය ආපසු කැඳවයි




සියලුම දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි. අද පෙරවරු 10 ට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී එම සාකච්ඡාව ආරම්භවීමට නියමිතයි.

මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට ද එම සාකච්ඡාවට සහභාගී වන ලෙස මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි. 

සියලු තේරීම් භාර නිලධාරීන් වගකිව යුතු වන්නේ මැතිවරණ කොමිෂන් සභාවට බවයි ඔහු පෙන්වා දුන්නේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිඛිතව දැනුම්දී තිබුණේ අමාත්‍ය මණ්ඩලය විසින් නැවත දැනුම්දෙනතුර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වන අපේක්ෂක ඇප තැන්පත් මුදල් භාරගැනීමෙන් වලකින ලෙස නියෝග කරන ලෙසට තමන් වෙත දන්වා ඇති බවයි.

ඊට අදාළ ලිපියක් සකස් කළද එය ඒ අනුව කටයුතු කරන ලෙසද අමාත්‍යංශ ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ඊයේ යැවූ ලිපියේ සඳහන් කර තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් හපුහින්න සඳහන් කළේ එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් ලෙස දිස්ත්‍රික් නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කටයුතු කරන බවයි. එම නිසා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඇප මුදල් භාරගැනීමේ වගකීමක් නොමැති බැවින් එම ලිපිය ආපසු කැඳවූ බවයි.

ඒ අනුව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක විසින් සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් ලෙස කටයුතු කරන දිස්ත්‍රික් නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් වෙත ලිපියක් යොමුකර තිබෙනවා. එහි දැක්වෙන්නේ පළාත් පාලන ආයතන සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ඇප තැන්පත් කරන්නේ නම් එම ඇප තැන්පතු නියමිත පරිදි ලබාගැනීමට අවශ්‍ය කටයුතු කිරීම සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ගේ වගකීම වන බවයි.

ඒ අනුව ලබන 18 වනදා සිට 21 වන දින මධ්‍යන දක්වා කාලය තුල නාම යෝජනා භාරගැනීම ද සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ගේ වගකීමක් වන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සිය ලිපියෙන් වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.