Wednesday, May 8, 2024

General line - 0115112241

ලංකාවේ තැඹිලි වලට මැදපෙරදිග ඉල්ලුම වැඩිවෙයි




ඩුබායි වෙළෙඳපොළේ මෙරට තැඹිලි සඳහා පැවැති ඉල්ලුම තුන් ගුණයකින් පමණ මේ වන විට ඉහළ ගොස් තිබෙන බවයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ සඳහන් කර සිටින්නේ.

ලංකාවට පමණක් ආවේණික ශාකයක් වන තැඹිලි සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විශාල ඉල්ලුමක් පැවැතියද, පසුගිය කාලයේදී තැඹිලි අපනයනයට අදාළ මුදල් ගනුදෙනු රැසක් උණ්ඩියල් ක්‍රමයට සිදුවීම නිසා මෙරටට විශාල විදේශ විනිමයක් අහිමිවූ බවත් සභාපතිවරයා සඳහන් කළේ.

පොල් සංවර්ධන අධිකාරියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා මේ බව පවසා සිටියා.

පොල් සංවර්ධන අධිකාරිය මැදිහත්වීම මත තැඹිලි අපනයනය සඳහා නියාමන ක්‍රමවේදයක් සැකසීම නිසා මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තැඹිලි ගෙඩියක් සඳහා එරට වරායේදී ඩොලර් 0.8 (දළ වශයෙන් රුපියල් 296) ක් ලැබෙන බවයි සභාපතිවරයා පවසා සිටියේ.  එමෙන්ම, ඩුබායි වෙළෙඳ පොළේ මෙරට තැඹිලි ගෙඩියක් රුපියල් 500 කට අලෙවි වන බව සඳහන්. 

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අපනයනය කරන තැඹිලි ගෙඩියක් එරට වෙරළ කලාපයේ රුපියල් 2500 ක් වැනි ඉහළ මිලකට අලෙවි වන බවද සඳහන්.

විදෙස් වෙළෙඳ පොළේ මෙරට තැඹිලි සඳහා පවතින ඉල්ලුම සහ මිල ඉහළ යාම නිසා මෙරට වෙළෙඳ පොළේ ද තැඹිලි මිල ඉහළ යාහැකි බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තැඹිලි අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති වජිර විජේසිංහ කියා සිටියේ පසුගිය කාලයේදී තැඹිලි අපනයනය සම්බන්ධව නිසි නියාමනයක් නොතිබීම නිසා තායිලන්තය,වියට්නාමය ආදී රටවල “ස්වීට් කොකනට්’’සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉල්ලුම ඉහළ ගිය බවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරනු ලබනවා.

තැඹිලි අපනයනය කිරීමෙන් 2022 වසරේදී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,මේ වසරේදී  අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 06ක් බවද මෙහිදී අනාවරණය කෙරුණා..