Friday, May 3, 2024

General line - 0115112241

සුපිරි හෝටලයට තරු පෙන්නු අබුඩාබි ෂෙයික්ගේ සේවකයා




එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික්වරයාගේ කාර්යාලයේ සේවකයෙකු බවට හඟවමින් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් හෝටල් බිලක් නොගෙවා පලා ගිය පුද්ගලයෙකු සොයා ඉන්දීය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඉන්දියාවේ, නව දිල්ලි අගනුවර පිහිටි ලීලා නමින් හැඳින්වෙන සුපිරි තරු පන්තියේ හෝටලයට පැමිණි බව කියන Md Sharif නමින් හඳුන්වා දී ඇති මෙම පුද්ගලයා තමන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික්වරයාගේ කාර්යාලයේ සේවකයෙකු බව හඳුන්වා දී ඇත. 

මෙම පුද්ගලයා ඉකුත් වසරේ අගෝස්තු මස 01 වෙනිදා සිට නොවැම්බර් මස 20 වෙනිදා දක්වා හෝටලයේ අංක 427 දරන කාමරයේ නවාතැන් ගෙන සිට ඇති බව සඳහන්. 

එහිදී ඔහු විසින් හෝටල් සේවකයින් සමග තමා එක්සත් අරාබි රාජ්‍යයේ ෂෙයික්වරයාගේ පවුලේ තොරතුරු මෙන්ම ඔහුගේ කාර්යාලයේ තමන් විසින් සිදුකරනු ලබන රාජකාරී පිලිබඳ තොරතුරු ද පවසා ඇති බවයි වාර්තා වන්නේ.

මාස තුනහාමාරකට ආසන්න කාලයක් ලීලා හෝටලයේ නවාතැන් ගෙන සිට ඇති මෙම පුද්ගලයා ඉකුත් නොවැම්බර් මස 20 වෙනිදා දහවල් 1.00ට පමණ හෝටලයෙන් පලාගොස් ඇති බවයි හෝටල් පාලනාධිකාරිය විසින් පොලිසියට සිදුකර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ.

එලෙස පලා යාමේදී ඔහු විසින් හෝටල් කාමරයේ තිබු රිදී භාජන මෙන්ම mother of pearl නමින් හැඳින්වෙන බන්දේසියක් ද සොරා ගෙන ගොස් ඇති බවයි හෝටලය පොලිසියට දැනුම් දී ඇත්තේ.

ඒ අනුව පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී අදාළ පුද්ගලයා විසින් හෝටලයට ලබාදී තිබු ඔහුගේ ව්‍යාපාරික කාඩ් පතක් ඇතුළු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හැඳුනුම්පත ද ඇතුළුව තවත් ලියවිලි කිහිපයක් පිලිබඳ අවධානය යොමු කර ඇති අතර පසුව එම ලේඛන සියල්ලම ව්‍යාජ ඒවා බවට දිල්ලි තහවුරු කර ගෙන ඇත.

මෙම පුද්ගලයා හෝටලේ කාමර ගාස්තු ලෙස ඉන්දියානු රුපියල් ලක්ෂ 24කට ආසන්න මුදලක් සහ වෙනත් සේවා ලබා  ගැනීම වෙනුවෙන් තවත් ඉන්දියානු රුපියල් ලක්ෂ 11ක් ඇතුළුව සමස්තව ඉන්දියානු රුපියල් ලක්ෂ 35ක් ගෙවීම් පැහැර හැර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. 

ඉන්දියානු රුපියල් ලක්ෂ 35ක් යනු මෙරට මුදලින් රුපියල් කෝටි එකහාමාරකට අධික මුදලක් වේ.