Tuesday, May 14, 2024

General line - 0115112241

මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන චීනයේ ස්ථාවරය අද




මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව “හින්දුස්ථාන් ටයිම්ස්” පුවත්පත වාර්තා කරනවා.

අද දිනය තුළ චීනය ඒ බව ලිඛිතව ප්‍රකාශයට පත් කරනු ඇති බවයි එම පුවත්පත වාර්තා කර ඇත්තේ. මෙරට ප්‍රධාන විදේශීය ණය හිමියන්ගෙන් ණය ප්‍රතිව්‍යුවහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය ස්ථාවරය විමසීම සිදුකරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන ලබාගැනීම සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක්. 

ඒ අනුව ඉකුත් 16 වනදා ඉන්දියාව මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලිඛිතව ප්‍රකාශ කළා. අනතුරුව එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සංචාරයක් සඳහා මෙරටට පැමිණි අතර ඔහු පැවසුවේ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාව පූර්ණ සහය ලබාදෙන බවයි.

ඉන්දියාව කල් නොමරා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදුන් බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ. ශ්‍රී ලංකාවේ අනෙකුත් විදේශීය ණය හිමියන් ද එලෙසම ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් එහිදී වැඩිදුරටත් සඳහන් කළා.