Saturday, May 18, 2024

General line - 0115112241

තිස්ස ලුණුගම්වෙහෙර කුඹුරු පරීක්ෂාවට විශේෂ කණ්ඩායමක්




තිස්ස, ලුණුගම්වෙහෙර  ව්‍යාපාරයේ වී වගාව පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් අද දිනයේ එම ප්‍රදේශයට යැවීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.

එම ප්‍රදේශයේ කුඹුරු අක්කර 25000ක නෙමටෝඩා හා ගොයම් කහ වීමේ රෝගය ව්‍යාප්තව ඇති බවට පළව තිබූ පුවත්පත් වාර්තාවක් පදනම් කර ගනිමින් ඒ සම්බන්ධයෙන් බතලගොඩ වී පර්යේෂණ ආයතනයෙන් විමසීමක් කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.

අදාළ පුවත්පත් වාර්තාවේ සඳහන් පරිදි නෙමටෝඩා සහ ගොයම් කහ වීමේ රෝගය හේතුවෙන් තිස්ස ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ කුඹුර අක්කර 14,000ක වී වගාව අත්හැර දමන ලෙස බතලගොඩ වී පර්යේෂණ ආයතනය කිසිදු උපදෙසක් ලබා දී නොමැති බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය දැක්වෙන්නේ.

බතලගොඩ වී පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක එය තහවුරු කළ බවද එම නිවේදනයේ දැක්වෙනවා. කෙසේ වෙතත් තිස්ස ලුණුගම්වෙහෙර ව්‍යාපාරයේ හානි වී ඇතිබවට වාර්තාපළ වන කුඹුරු පරීක්ෂාව සඳහා අම්බලන්තොට, වී අභිජනන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හර්ෂනී උමා සිරිවර්ධනගේ ප්‍රධානත්වයෙන් විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත් කර හරින බවද කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.