Wednesday, May 15, 2024

General line - 0115112241

උසස් පෙළ සමයේ විදුලි කප්පාදුවක් නොකරන්නැයි මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීමක්




හෙට දිනයේද පැය දෙකක විදුලි කප්පාදුවක් සදහා මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව එක් එක් කලාපවල දිවා කාලයේදී මිනිත්තු 40ක් සහ රාත්‍රී කාලයේදී පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවයි මහජන උපයෝගිතා කොමිසමේ නිවේදනය කළේ. 

මේ අතර උසස් පෙළ විභාගය පැවැත්වෙන අද දිනයේ සිට පෙබරවාරි මස 17 වනදා දක්වා කාලසීමාව තුළ විදුලිය විසන්ධි කිරීම වළක්වාලීමට අවශ්‍ය සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් සහ මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මානව හිමිකම් කොමිසම එම ඉල්ලීම කර ඇත්තේ එම කොමිසමේ සභාපති, විනිසුරු රෝහිණී මාරසිංහගේ අත්සනින් අදාළ ආයතන වෙත ලිපියක් යොමු කරමින්. 

මේ අතර තමන්ට මරණ තර්ජන එල්ලවී ඇති බවට මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙකු කර ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලීසිය පැවසුවේ එම කොමිසමේ සාමාජිකයන් වන උදේනි වික්‍රමසිංහ සහ මොහොන් සමරනායක විසින් පසුගිය 20 වනදා එම පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි.