Wednesday, May 15, 2024

General line - 0115112241

උද්ධමනය අපේක්ෂිත පරිදි පහළ ගොස් නොමැති බව ආර්ථික විශ්ලේෂකයෙක් පෙන්වයි




මාස 8 ක පමණ කාලයක් පුරා දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළද මෙරට උද්ධමනය අපේක්‍ෂා කළ මට්ටමින් අඩු කර ගැනීමට හැකි වී නොමැති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා.

ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට උද්ධමනය පසුගිය මාස තුනක පමණ කාලයේදී අඛණ්ඩව පහල ගියද එලෙස උද්ධමනය පහළ ගොස් ඇත්තේ ඉතා සුළු අගයකින් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රට තුළ යහපත් ආර්ථික තත්ත්වයක් ඇති කර ගැනීමට නම් දෙසැම්බර් මාසය වනවිට මෙරට උද්ධමනය අවම වශයෙන් සියයට 20 කින් අඩු විය යුතුව තිබුණ බවද මහාචාර්ය වසන්ත අතුකෝරළ පෙන්වා දුන්නා. 

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයට සාපේක්‍ෂව දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට 5 යි දශම 8 කින් පහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වුණේ.

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය නොවැම්බර් මාසයේදී සියයට 65ක් ලෙස සටහන්ව තිබූ උද්ධමනය දෙසැම්බර් මාසයේදි සියයට 59 යි දශම 2 ක් දක්වා අඩු වී ඇති බව එම වාර්තාවල දැක්වුණා.

කෙසේවෙතත් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගය ඉකුත් නොවැම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා කාලය තුළදි වෙනස් වී නොමැති බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.