Tuesday, May 14, 2024

General line - 0115112241

මිලේනියම් සිටි නඩුව ගැන අධිකරණය ගත් තීරණය




අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ශ්‍රී ලංකා යුධ හමුදා බුද්ධි අංශය විසින් පවත්වා ගිය ආරක්ෂක නිවස්නයක් වටලා එහි සිටි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය රහස් හෙළි දරව් කිරීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොලට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තිකරු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන්නේද? නැද්ද? යන තීන්දුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් ප්‍රකාශයට නියමිතව තිබූණා.

එහිදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ මෙම නඩුවට අදාළව විත්තිකරුගේ පාර්ශ්වයෙන්ද සාක්ෂි කැඳවීමට අධිකරණය තීන්දු කරන බවයි.

ඒ අනුව විත්තිය වෙනුවෙන් සාක්ෂි ඉදිරිපත් කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා නඩුව නැවත පෙබරවාරි මස 21 වනදා කැඳවීමට ද නියම කළා.

2002 වසරේ ජනවාරි මස 02 වනදා අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ තුළ යුද හමුදා බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවාසයක් වටලා එහි සිටි නිලධාරීන් අත්අඩංගුවට ගැනීම තුළින් රාජ්‍ය රහස් හෙළි දරව් කොට රටේ ජාතික ආරක්ෂාව හා රටේ ස්වෛරීභාවය අනතුරේ හෙළීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබෙනවා.