Tuesday, May 14, 2024

General line - 0115112241

සාමාජිකාවගේ හදිසි ඉල්ලා අස්වීම ගැන මැතිවරණ කොමිසම කතා කරයි




මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එම්.එස්. චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස්වීම මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නැතැයි මැතිවරණ කොමිසම පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇයගේ ඉල්ලා අස්වීමට බලපෑ හේතුව සම්බන්ධයෙන්ද කිසිවක් නොදන්නා බවයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එම්.එස්. චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඊයේ සිට ඉල්ලා අස් වී ඇති බවටයි වාර්තා වුණේ. එහෙත් ඊයේ දිනයේද මැතිවරණ කොමිසමේ ගැසට් නිවේදනයකට ඇය අත්සන් තැබූ බවයි එම ප්‍රකාශකයා නෙත් නිවුස් වෙත තහවුරු කළේ. මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එම්.එස්. චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස්වූ බවට වන ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා.

එහෙත් ඒ පිළිබඳවද මැතිවරණ කොමිසමේ කිසිදු දැනුවත් වීමක් නොමැති බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයා සඳහන් කළේ. මෙවැනි ක්‍රියාවලින් මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එම්.එස්. චාල්ස්ගේ වගකීම් විරහිතභාවය පෙන්නුම් කරන බවද ඔහු අවධාරණය කළා. 

මේ අතර මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවාද ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බවට වාර්තා පළ වනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු පැවසුවේ තමා එම ධූරයෙන් ඉල්ලා අස් වී නොමැති බවයි. මෙම වාර්තා පළ වන්නේ මැතිවරණ කොමිසම සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවීමට ව්‍යවස්ථාදායක සභාව ඊයේ තීරණය කර ඇති පසුබිමකයි.