Friday, May 3, 2024

General line - 0115112241

ෆින්ලන්තයට නේටෝ සාමාජිකත්වය හිමිවන ලකුණු




අසල්වැසි ස්විඩනය අතහැර ෆින්ලන්ත නේටෝ සංවිධානය වෙත පිළිගැනීමට සූදානම් බව තුර්කිය පවසනවා. තුර්කි ජනාධිපතිවරයා ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් ෆින්ලන්තයේ අසල්වැසි රාජ්‍යයක් වන ස්විඩනයට සිය රටේ සහය හිමි නොවන බව ද තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අඩගොන් යළිත් පවසා තිබෙනවා. රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් හමුවේ තුර්කිය ඉකුත්දා ස්වීඩනයට හා ෆින්ලන්තයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමට සහය පළකිරීම ප්‍රතික්ෂේප කර තිබුනා. 

සාමාජික රටවල් 30 කින් සමන්විත නේටෝ සංවිධානයට නව සාමාජිකයකු එක්වන්නේ නම් ඒ සදහා වත්මන් සාමාජිකයින් සියළු දෙනා එකග විය යුතු වනවා. රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හමුවේ ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සාමජිකත්වය ඉල්ලා සිටියා. එහෙත්, ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ සිටින සිය රටට අවශ්‍ය කුර්දි සටන්කාමී පාර්ශව භාර දෙන ලෙස ඉල්ලමින් තුර්කිය එම රටවල් 2 කට බලපෑම් එල්ල කරමින් සිටිනවා. 

තුර්කිය නේටෝ සංවිධානය තුළ සිටින බලවතෙකු බැවින් ඔවුන්ගේ සහය ස්වීඩනයට සහ ෆින්ලන්තයට වැදගත් වනු ඇති. ස්වීඩනය සමග පවතින රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය උග්‍ර වෙමින් ඇති පසුබිමක් තුළ තුර්කිය ෆින්ලන්තයට සහය පළකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලබන ජූනි මාසයේදී පැවැත්වීමට නියමිත විශේෂ  සමුළුවකදී සාමාජික රටවල් සංඛ්‍යාව 32 ක් දක්වා ඉහල නංවා ගැනීමට නේටෝ සංවිධානයේ අපේක්ෂාවයි. එහෙත් තුර්කිය, ස්විඩනය හා ෆින්ලන්තය සමග පවතින විරසකය ඒ සදහා බාධාවක් වී තිබෙනවා .